පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්කුඩු තොග කූට ලෙස විකිණීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා මේ මස 8 වනදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද එම නිලධාරීන් පිරිස අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් ජූනි මස 12 වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද චන්දන ප්‍රියංකර නමැති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව කියා සිටියා.
ඉකුත් අප්‍රේල් මස 15 වනදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද කිලෝග්‍රෑම් 500 ක මත්ද්‍රව්‍ය තොගය මෙන්ම අප්‍රේල් මස 30 වනදා සහ මැයි මස 15 වන දින අත් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්කුඩු තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු ගබඩා කාමරයේ ඇසුරුම් කිරීමේදී එම මත්ද්‍රව්‍යවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම සැකකරුවන් කටයුතු කර ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
මෙම සැකකරුවන් භාරයේ තිබී රුපියල් තුන්සිය විසි තුන් ලක්ෂ අනු දහසක මුදලක් සහ වාහන කිහිපයක් මෙන්ම ටී 56 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරින් 4 දෙනෙකු මෙන්ම සිවිල් වැසියන් තුන් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය ඉතා සංකීර්ණ අපරාධ සිද්ධියක් බැවින් එම සැකකරුවන් පොලිසිය භාරයේ දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව සැකකරුවන් දින 07 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය එදින ඔවුන් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්