අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරතවන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නො වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමගාමීව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනට අදාළ www.cu.ac.lk නිල වෙබ් අඩවිය හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
උසස් පෙළ විභාගයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් 80%කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වේ. ඒ අතරින් ආර්ථික හැකියාව සතු සිසුහු පෞද්ගලික හෝ විදෙස් විශ්වවිද්‍යාල සඳහා යොමු වෙති. උසස් පෙළ සමත් එහෙත් ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.
උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරති. එහෙත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බව ජනාධිපති පැවසීය.
සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. එහෙත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බව ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ. පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහා ම වෙන් කළ යුතු ය.
කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්