ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ, කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු පෙරවරු 09 ට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරයේ සිට ජනාධිපතිධූරයට පත්වීමත් සමඟ අග‍්‍රාමාත්‍යධූරය පුරප්පාඩු වීම හේතුවෙන් එතෙක් පැවති කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථානුකූලව අක‍්‍රීය වනවා.
ඒ අනුව රජයේ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත කඩිනමින් කැබිනට් අමාත්‍ය කණ්ඩායමක් පත්කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.
හිස් වූ අග‍්‍රාමාත්‍යධූරය සඳහා සභානායක දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පත්කිරීමට යෝජනා වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළා.
රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූරය පුරප්පාඩු වී තිබෙනවා.
ඒ පිළිබඳ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ ලිඛිතව දැනුම් දුන්නා.
පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූරය සඳහා සාගල රත්නායක, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළා.
මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ මේ වන විට ක‍්‍රියාත්මක දෙවන සභා වාරය වාර අවසාන කිරීම සඳහා යෝජනාවක් කතානායකවරයා වෙත ඉදිරිපත්ව තිබෙනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර එකගතාවකට පැමිණෙන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කලේ.
ඒ අනුව අභිනව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූලාසන කතාවකින් අනතුරුව 9 වන පාර්ලිමේන්තුවේ තුන් වන සභා වාරය ආරම්භ කරනු ඇති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්