2015 වසරේ පෙබරවාරි මස ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද (19) කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නේය.
එම නඩුව අද චම්පා ජානකී රාජරත්න සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්රියන්ත නාවාන මහතා එම දැනුම් දීම සිදුකළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් උදර්පණ නීතිය යටතේ මෙරට නීතිපතිවරයා සහ සිංගප්පූරු නීතිපතිවරයා අතර කරුණු හුවමාරුවෙමින් තිබෙන බව දන්වා සිටියේය.
එහිදී මහධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාගෙන් විමසා සිටියේ එම විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳවය.
ඊට ප්රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර අර්ජුන මහේන්ද්රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙරට සහ සිංගප්පූරු නීතිපතිවරු අතර අදහස් සහ ලිපි හුවමාරු කිරීම නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බව දන්වා සිටියේය.
එම උදර්පණ ක්රියාවලිය තුළ සාධනීය ප්රතිඵලයක් අත් නොවන්නේ නම් ඉදිරියේ දී අදාළ විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල් ප්රියන්ත නාවාන මහතා මෙහිදී අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්