සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වුණු තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග තුනට දෙකක් ලෙස ජය ගනිමින්, තරගාවලියේ ශූරතාව තමන් සතු කරගන්නට අද (24) සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
අවසන් එක්දින තරගය අද පස්වරු 2.30ට ඇරඹුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්රීඩාංගණයේදියි. කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුගල ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකට සිය ඉනිම සාර්ථකව ගොඩනගන්නට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් ඉඩක් ලබා දුන්නේ නෑ.
ලකුණු 02ක් ලබා සිටියදී පැතුම් නිස්සංකවත්, ලකුණු 08ක් ලබා සිටියදී ධනුෂ්ක ගුණතිලකවත් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට කැන්ගරු පන්දු යවන්නන් සමත් වුණා. ඉන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරු 100ට ළඟා වන්නට පෙර අවාසනාවන්ත ලෙස කඩුලු 07ක් දැවී ගොස් තිබෙනවා.
කැන්ගරු පන්දු යවන්නන්ගේ බිලි බවට අවසන් එක්දින තරගයේ දී පත් වූයේ, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක ආදී පිතිකරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රීඩකයින් වීම ද විශේෂත්වයක්.
ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු මොහොතකට ඇදවැටී තිබූ මොහොතක නිත්‍ය වේග පන්දු යවන්නෙකු වන චාමික කරුණාරත්න පිතිකරුවෙකුගේ වගකීම කරට ගෙන ක්‍රියා කරන්නට වුණා. ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන්ට රිසි සේ පිටිය පුරා පහරදෙමින් , ඔහු සිය මංගල අර්ධ ශතකය රැස්කර ගත්තේ හතරේ පහර 08ක් හා හයේ පහර දෙකක් ද සමගින්. ‘උනන්දුවා’ ලෙසින් කණ්ඩායමේ ආදරයට ලක් වූ චාමික කරුණාරත්න දැවී යන විට පන්දු 75ක දී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 75ක්.
සිය ජාත්‍යන්තර එක්දින වරම් මෙම තරගයෙන් දිනූ ප්‍රමෝද් මධුෂාන් ආධුනිකයෙකු නොවී 09 වැනි කඩුල්ල වෙනුවෙන් සහ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට සිය ජ්‍යේෂ්ඨ සඟයා වූ චාමිකට අනගි සහායක් ලබාදෙමින් ලකුණු 15ක් රැස් කරගත්තේ හතරේ පහර 02ක් ද එල්ල කරමින්.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් Josh Hazlewood,Matthew Kuhnemann හා Pat Cummins කඩුලු 02ක බැගින් බිඳ දමද්දී, Cameron Green හා Glenn Maxwell එක් කඩුල්ලක් දවා ගත්තා. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී යද්දී, ඔස්ට්‍රෙලියානු පිලට හිමි වූ ලකුණු ප්‍රමාණය 161ක්.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 161ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට සිය ජය පහසුවක් ලෙසින් භුක්ති විඳීමට ඉඩහසර ලබා නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කටයුතු කළා. තරගකාරී මෙන්ම ප්‍රවේගකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන දුනිත් වෙල්ලාලගේ බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 03ක්.
ඕනෑම තරගයකදී පන්දු යවන්නෙකුට පීඩනයක් එල්ල කළ හැකි අවදානම් පිතිකරුවෙකු වන ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල මෙවරත් තමන් සතු කරගන්නට වෙල්ලාලගේ සමත්වීම විශේෂත්වයක්. මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 02යි. ප්‍රමෝද් මධුෂාන්ගේ කඩුලු ලැයිස්තුවට ඔස්ට්රෙලියානුවන්ගෙන් එක් කඩුල්ලක් ද හිමිවුණා.
කෙසේවෙතත් පීඩාකාරී පන්දු යැවීමකට ඔස්ට්‍රෙලියානුවන් මුහුණ දෙමින්, දැඩි තරගයක් ලබා දී අවසන් තරගය ජය ගනිමින්, තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 02ක් සිය නම ඉදිරියෙන් ලියා ගැනීමට කැන්ගරුවන්ට හැකි වුණා. කඩුලු 04කින් තරගය ජයගත් ඔස්ට්‍රෙලියාව එම තරග ජය වෙනුවෙන් වැය කෙරූ පන්දුවාර ගණන පන්දුවාර 39කුත් පන්දු 03කුත් ලෙසින් ද සටහන් වුණා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්