ආණ්ඩුව ඇතුලේ බලය අල්ලාගෙන සිටින බලවත් නිලධාරීන් පිරිසක් ජාවාරම්කාරයින් සමඟ එක්ව රටේ ආර්ථිකය විශේෂයෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාවය විනාශ කරන බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.
ජනාධිපතිතුමා වෙත විවෘත ලිපියක් යොමු කරමින් ඒ මහතා තව දුරටත් සඳහන් කරන්නේ සහල් ආනයනය කිරීම ලාභදායි නිසා වී ගොවිතැන අත්හැර සහල් ආනයනය කළ යුතු බව කියන මුග්ධයින්ද ආණ්ඩුව තුළ සිටින බවය.
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ
සහල් මාෆියාව සහ තිරිඟු මාෆියාව එකවර මට්ටුකළ යුතුයි
වී ගොවිතැන, වී ගොවියා, සහල් කර්මාන්තය, සහල්කර්මාන්තකරුවා සහ රටේ ආහාර සුරක්ෂිතතාවය විනාශ මුඛයෙන් බේරා ගන්න.
මා මෙම ලිපිය ඔබ තුමා වෙත ලියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වී ගොවිතැන සහ සහල් කර්මාන්තය පිළිබඳ ලබා ගෙන ඇති දැනුම සහ අත්දැකීම් මෙන්ම ගොවීන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ දුක් ගැනවිලි වලට සවන්දීම මඟින් මා තුළ ඇති වන මානසික කම්පනයන්ද සැලකිල්ලට ගනිමිනි. ඒ සමඟම විවිධ විද්වතුන් සහ විශේෂඥයින් විසින් ජනමාධ්‍ය හරහා මෙන්ම පුද්ගලිකවද පළකොට ඇති අදහස් සහ තාක්ෂණික කරුණු පිළිබඳවද අවධාණය යොමු කරමිනි. අප වැනි රටක ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව තේරුම් ගැනීමට වෙනත් සුදුස්සෙකු ඇතැයි මම නොසිතමි.
අප රටේ ආහාර සුරක්ෂිතතාවයට” හෙවත්මාගේ වචන වලින් ආහාර ස්වයිරීභාවයට, හානිකර තීන්දු ගනු ලබන අවස්ථාවලදී ඒවා සාධාකරණීකරනය කරනු ලබන්නේ පාරිභෝගිකයාට සහන සැලසීමේ මුවාවෙන් බවද මම නිරීක්ෂණය කොට ඇත්තෙමි. අප රටේ ආර්ථිකයේ වර්ධනයට වී වගාව හෝ කෘෂිකර්මාන්තය මඟින් ලබාදෙන දායකත්වය ඉතා සුළු ප්‍රමාණයක් නිසා කුඹුරු ගොඩකර වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය යුතු බව කියන අගමැතිවරු පවා සිටියහ. ඒ වාගේම වී ගොවිතැනේ නිෂ්පාදන වියදම් වැඩි නිසා ලාභයට සහල් ආනයනය කොට කුඹුරු වල කෙසෙල් වැනි අපනයන බෝග වගා කළ යුතු බව කියන ආර්ථික විද්වතුන් සේ පෙනී සිටින මුග්ධයින් පිළිබඳවද මා අසා ඇත.
මා අධ්‍යනය කොට ඇති පරිදි අප රටේ ආහාර සුරක්ෂිතතාවයට බරපතලම හානිය සිදු වන්නේ වෙළඳපොළ තුළ පවතින මිල විකෘතින් නිසා දේශීය ආහාර වෙනුවට මහජනයා ආනයනික ආහාර පරිභෝජනයට පෙළඹීම නිසාය. ලාභයට ලැබෙන දේ වැඩි වශයෙන් කෑමට පුරුදු වීම අප රටේ අතිබහුතරයක් වන අඩු ආදායම් ලාභී ජනතාවගේ වරදක් නොවේ. එය ආනයනික ආහාර වලට අයුතු ලෙස බදු සහන දෙන රාජ්‍යයේ වරදක් මිස මහජනයාගේ වරදක් නොවේ.මා දන්නා තරමින් පසුගිය ආණ්ඩුව අවස්ථා දෙකකදී කි.ග්‍රෑම් 1 ට රු. 10 බැගින් රු. 20 ක බදුසහනයක් අපේ රටට තිරිඟු ඇට ආනයනය කරන සමාගමට ලබා දී ඇත. සහල් වලට සහ සහල් පිටි වලට තරඟකාරී තිරිඟු වලට සහන දුන් විට ඉහත සඳහන් කළ පරිදි තිරිඟු පරිභෝජනය දිරිමත් වේ.
මේ පිළිබඳව අධ්‍යනය කොට ඇති විද්වතුන්ගේ එළිදරව් කිරීම් අනුව එසේ බදු සහන ලබා දීම නිසා අප රටේ තිරිඟු පිටි පරිභෝජනය වාර්ෂිකව මෙ.ටො. ලක්ෂ 13 සිට ලක්ෂ 17 දක්වා ලක්ෂ 4 කින් වැඩි වී ඇත. එසේ නම් එම ප්‍රමාණයට රටේ සහල් සහ සහල් පිටි පරිභෝජනය අඩුවන බව කුඩා ළමයෙකුට වුවද වටහා ගත හැකිය.එම බදු සහනය නිසා රුපියල් මිලියන 34,000 ක බදු ආදායමක් රජයට අහිමි වී යන බව කැල්කියුලේටරයකින් බලා ගත හැක. පසුගිය රජය එතරම් විශාල පාඩුවක් ලබමින් තිරිඟු ඇට වලට බදු සහන ලබා දී තිබියදී ඔබතුමාගේ රජයත් පාන් පිටි ආනයන කරුවන්ට කි.ග්‍රෑම් 1 කට රු. 28 ක බදු සහනයක් ලබා දී ඇති බව දැනගත් විට මම පුදුමයට පත් වුයෙමි. යම් නිලධාරීන් පිරිසක් එම සහනය ලබා දීම සඳහා පනත් 03 ක් යටතේ ඉතා දුක්මහන්සි වී ගැසට් නිවේදන 03 ක් නිකුත් කළ බව දැනගත් විට මා විශ්මයට පත් වූ බවද ඔබතුමාට අවංකව කිව යුතුය. සමහර විට එම ක්‍රියාන්විතය ඔබතුමා නොදන්නවා විය හැක.
ඒ ආකාරයට රජයට බදු ආදායම් අහිමිකරගනිමින් ඉතා සුළු පිරිසකට සහන ලබා දුන්නත් එම සහන මහජනයාට ලැබී නැති බව අසන්නට ලැබේ. අපට මුණ ගැසෙන පාසල් දරුවන් කියන්නේ ඔවුන් නිතර කෑමට ගන්නා කෙටි කෑම වර්ගවල මිල වැඩි වුණා මිස අඩු නොවූ බවය. සාමාන්‍ය පාන් ගෙඩියක් රු. 60 කට විකුණන විට පෙතිගසා පොලිතින් කවරයක බහා ඇති පාන් ගෙඩියක් රු. 100 කට විකුණන බවද මම දැක ඇත්තෙමි. එසේ වුවත් පාන් පිටි කෑම අඩු මිලට ලබා දී මහජනයා ලෙඩ කළ යුතු යැයි මම කිසිසේත්ම නොසිතමි. මා කියන්නට උත්සහා කරන්නේ මහා පරිමානයෙන් ලබා දී ඇති එම බදු සහන ප්‍රායෝගිකව බදු වංචාවක් බවට පත් වී ඇති බවය. එසේ පාන් පිටි වලට නිර්ලෝභීව බදු සහන ලබාදෙන අතර සහල් කි.ග්‍රෑම් 1 කට රු. 2 ක් හෝ 3 ක් වැඩි පුර ලබාදී කර්මාන්තය ආරක්ෂා කිරීමට මැලිවන්නේ කුමක් නිසාදැයි මට වැටහෙන්නේ නැත. පාන්පිටි ආනයනකරුවන්ට රු. 28 ක සහනයක් දෙන විට හෝ පෙති පාන් ගෙඩියක් සඳහා රු. 40 ක් වැඩිපුර ගෙවන විට නිර්ලෝභී බව පෙන්වන අය බුද්ධ භෝගය වන සහල් සම්බන්ධයෙන් අකාරුණික වන්නේ කුමක් නිසාද?
ඉහත සඳහන් කළ ආකාරයට සහල් වලට තරඟකාරී ආහාරයක් වන තිරිඟු වලට බදු සහන දීම නිසා ඇතිවන මිල විකෘතියට අමතරව තර්කානුකූල නොවන මිල පාලනයක් මඟින් සහල් වෙළඳපොළ තුළ වෙනත් ආකාරයකට මිල විකෘතියක් සිදුවේ. එසේ නියම කරන මිලට සහල් නිපදවිය නොහැකි නම් සහල් කර්මාන්තකරුවාගේ හුස්ම හිරවේ. එවිට ඔහු ගොවියාගේ පපුව මත නැගී හුස්ම ගැනීමට දඟලන විට ගොවියාගේ හුස්ම හිරවෙන බව තේරුම් ගැනීම අමාරු නැත. සමාජමාධ්‍ය මඟින් මා දුටු ආකාරයට නියම කළ මිලට සහල් ලබාදීමට නම් ඊළඟ කන්නයේදී අඩු මිලට වී මිලදී ගත යුතු යැයි මෝල් හිමියෝ පවසති. ඔවුන් කියන ආකාරයට රු. 50 කට වැඩි මිලක් ගෙවා මිලදීගත් වී වලින් දැන් පනවා ඇති පාලන මිලට සහල් ලබා දිය නොහැක. එසේ නම් ගොවියාට අඩු මිලක් ගෙවා පාරිභෝගිකයාට රු. 2 ක සහනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිය හැක්කේ කාටද?
ඒ ආකාරයට සහල් මිල වෙළඳපොළේ පැවතිය නොහැකි ලෙස පහත මට්ටමක තැබීම සාධාරණීකරණය කෙරෙන්නේ මහා මෝල් හිමියන් කිහිප දෙනෙකුට ඇඟිල්ල දිගුකරමින් බව දක්නට ඇත. මා වෙත ලැබී ඇති තොරතුරු සහ මා සොයා බලා ඇති තොරතුරු අනුව අපේ රටේ මහා මෝල් ලෙස හඳුන්වන සහල් මෝල් ඇත්තේ 05 ක් වැනි ප්රමාණයකි. ඔවුන් නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය වෙළඳපොළේ ප්‍රමාණයට සාපේක්ෂව 20% බව දැනගන්නට ඇත. එසේ නම් ඉතිරි 80% නිපදවන්නේ කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් හිමියන් විය යුතුය.ඒ අනුව මහා මෝල් හිමියන්ට පහර දෙන බව කිවද සැබැවින්ම පහර වදින්නේ කුඩා වුන්ටය. සමහර විට මහා පරිමානයෙන් සහල් නිෂ්පාදනය කරන විට කෙසේ හෝ ලාභයක් ලැබිය හැකි යැයි සිතිය හැක. ඒ නිසා පුද්ගලක හේතු මත මිල පාලනය මඟින් මහා මෝල් හිමියන්ගේ හුස්ම හිරකිරීමට උත්සහා කරන විට සැබැවින්මහුස්ම හිර වන්නේ කුඩා එවුන්ගේය. මා විශ්වාස කරන හැටියට මහ උන් සහ කුඩා උන් යන දෙපාර්ශවයටම සාධාරණය ඉටුවන අකාරයට ප්රශ්නය විසඳිය හැක. මහා පරිමාන මෝල් හිමියන්ට ඔවුන්ගේ ධාරිතාව අනුව වැඩි ලාභයක් ලැබෙනවා නම් ඔවුන්ගෙන් යම් සාධාරණ බද්දක් අය කිරීම වරදක් නොවේ. එසේ නොමැතිව මහා මෝල් හිමියන්ට රිදවීම සඳහා රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට දැමීම වරදක් බව කිව යුතුය. අනෙක් පැත්තෙන් සිතන විට මහා මෝල් හිමියන්ගේ පැවැත්මද රටේ ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වේ. පවතින නීති අනුව සහල් සහ වී තොග රැස් කිරීම පිළිබඳ තොරතුරු මාසිකව රජයට ලබාදෙන ලෙස මහා මෝල් හිමියන්ට විශේෂිතව රෙගුලාසි පැනවිය හැක. ඔවුන් තොග රැස්කරන විට ගොවියාට සහතික මිල ගෙවනවාද යන්න සොයා බැලිය යුතුය. රජය විසින් පිරිවැය දරා ආරක්ෂණ තොඟ රැස්කිරීමේ වගකීමෙන් කොටසක් මහා මෝල් හිමියන්ට පැවරිය නොහැකිද? ඒවා ගැන ඔවුන් සමඟ විවෘතව කථා කළ යුතු යැයි මම සිතමි. ඒ වෙනුවට ලොකු කුඩා සියළු සහල් කර්මාන්තකරුවන්ට, යථාර්ථවාදී නොවන මිල පාලනයක් යොදා ගනිමින්, පාරිභෝගිකයා නාමයෙන් පාරිභෝගික අධිකාරිය විසින් හිරිහැර කිරීම අනුමත කළ නොහැක.
කෙසේ වෙතත් ජනාධිපතිතුමනි,
ඒ ආකාරයට සහල් කර්මාන්තය සහ වී වගාව අධෛර්යමත් කිරීම මඟින් වාසි ලබා ගන්නවා යැයි චෝදනාවට ලක්වන පාර්ශව දෙකක් පිළිබඳව දැන ගැනීමට ඇත. එකක් බොහෝ පිරිස් අන්වර්ථ නාමයෙන් හඳුන්වන තිරිඟු පිටි මාෆියාව බව කිව හැක. සහල් වෙළඳපොළ කඩා වැටෙන විට ඔවුන්ගේ වෙළඳපොළ විශාල වේ. එසේ වාසි ලබා ගන්නා දෙවන පිරිස සහල් ආනයනය කිරීමට බලා සිටින පිරිස බව පිළිගත හැක.පසුගිය කාලයේදී රිෂාඩ් බදිඋදීන් අමාත්‍යවරයා වෙළඳ ඇමතිව සිටි සමයේදී සහල් ආනයනය කිරීමේදී යම් පිරිස් විශාල වශයෙන් කොමිස් ලබා ගත් බවට චෝදනා එල්ල වූ බව මට මතක තිබේ. මෙවර මිල පාලනය මඟින් මෝල් හිමියන් අධෛර්යමත් කිරීම නිසා ඔවුන් වෙළඳපොළට සහල් නිකුත් කිරීමට මැලිවන විට සහල් ආනයන කරුවන්ට වාසි අත්වන බව තේරුම් ගැනීමට අමාරු වන්නේ නැත. මට වැටහෙන දේශපාලන තර්ක විතර්ක අනුව මෙම අවුල් මඟින් වාසි ලැබෙන තුන්වන පාර්ශවයක්ද සිටින බව අනුමාන කළ හැකිය. රටේ ගොවීන් සහ කර්මාන්තකරුවන් ආණ්ඩුව කෙරෙහි කළ කිරීමට ලක් කිරීම මඟින් සහ රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කිරීම මඟින් රට අමාරුවේ දැමීමට බලා සිටින අප රටට හතුරු බොහෝ පාර්ශව සිටින බව ඔබතුමා පිළිගන්නවා ඇත.
අතිගරු ජනාධිපතිතුමනි,
සහල් කි.ග්‍රෑම් 1 ක් 8 දෙනෙකුට ආහාරයට ගත හැක. රු. 10 ක මිල වැඩිවීමක් යනු එක වේලකට රු. 2 කි. බුලත් විටකට රු. 30 ක් වැය කරන, සිගරටුවකට රු. 65 ක් වැය කරන, අරක්කු කාලකට රු. 300 ක් වැය කරන, පෙතිපාන් කෑම සඳහා නිර්ලෝභීව රු. 40 ක් වැඩිපුර ගෙවන මිනිසුන් රු. 2 ක් වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක් කරනු ඇතැයි පිළිගත නොහැක. තවමත් ජනතාවගේ ආදරය සහ විශ්වාසය දිනා ගෙන සිටින ඔබතුමා වැනි පාලකයෙකු ජනතාවට කෙළින් කථා කොට රටේ වී ගොවියා, වී ගොවිතැන, සහල් කර්මාන්තය, සහල් කර්මාන්තකරුවා පමණක් නොව ඊට රටේ ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගිකයාගේ දීර්ඝකාලීන මිල සුරක්ෂිතතාවය යන සාධක සියල්ල සැලකිල්ලට ගෙන“ වී වලට මේ මිල ගෙවමු – බුද්ධ භෝගය වන සහල් මේ මිලට කමු ” යනුවෙන් කියන්නේ නම් මහජනයා ඊට ධනාත්මකව ප්‍රතිචාර දක්වන බවට මට නම් සැකයක් නැත.
වී මෝල් ගැන ගැඹුරින් අධ්‍යනය කොට ඇති ඉන්ජිනේරු විමල් ජයවර්ධන මහතා මා වෙත ලබාදුන් සංඛ්‍යා ලේඛන අනුව වී ගොවියාට රු. 50 ක සහතික මිලක් ගෙවන විට නාඩු සහල් කි.ග්‍රෑම් 1 ක තොග මිල රු. 95 ක් වත් විය යුතුය. ඔහුට අනුව කැකුළු සහ තැම්බූ සහල් අතර මිල වෙනස රුපියලකට අඩු ප්රමාණයකි. නමුත් සම්බා සඳහා ඊට වඩා වැඩි මිලක් ගෙවන්නේ නැති නම් සම්බා වී වගාව සහ සහල් නිෂ්පාදනය අධෛර්යමත් විය හැක. නමුත් මාගේ ඉල්ලීම සහ අපේක්ෂාව වන්නේ අප රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් දුක් විඳින අහිංසක ගොවි පවුල් වල ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා ගොවියාට රු. 60 ක සහතික මිලක් ගෙවිය යුතු බවය. එවිට නාඩු කිලෝ ග්‍රෑම් 1 ක තොග මිල රු. 110 ක් විය හැක.
ඊට අමරතරව ආහාර වෙළඳපොළේ පවතින බරපතල මිල විකෘතිය නිවැරදි කිරීම සහ ආණ්ඩුවට අහිමි වූ ආදායම් නැවත ලබා ගැනීම සඳහා තිරිඟු ඇට සහ පිටි වලට පසුගිය රජය සහ වර්තමාන රජය විසින් ලබා දුන් බදු සහන නම් අහෝසිකළ යුතුමය. එවිට බදුසහන වලට පෙර තිබූ මිලට පාන් කෑමට හැකිය. එම තීන්දුව බෝ නොවන රෝග වසංගතය පාලනය කිරීම සඳහාද ඉතාම වැදගත් බව කිව යුතුය.
ඒ මඟින් රජයට ලැබිය හැකි දළ වශයෙන් රු. මිලියන 30,000 කට වැඩි බදු අරමුදල් යොදා ගනිමින් පාන්පිටි බහුලව ආහාරයට ගන්නා වතු කම්කරුවන්ට සහ අවශ්‍ය නම් සමෘද්ධි ලාභීන්ට යම් සහනාධාරයක් ලබා දිය හැක. ඊට අමතරව එම අරමුදල් “ චූන් පාන් ” විකුණන ස්වයං රැකියා ලාභීන් මඟින් සහල් සහ සහල්පිටි ආහාර ප්‍රචලිත කිරීම සඳහා සහ කුඩා බේකරි හිමියන් වඩා පුළුල් පරාසයක ආහාර නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් බවට පත් කිරීම සඳහා ද සහනාධාර ලබා දිය හැක.
මෙම ප්‍රතිපත්තිමය තීන්දුව ඔබතුමා විසින් ගනු ලැබුවහොත් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මේ රටේ ජාතික ආර්ථිකය ඔක්තිමත් කිරීම මුල්කරගෙන බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්රස්ථා සැලසෙන ආකාරයට ගොඩ නැගූ ආර්ථික සංවර්ධන මොඩලය සහ එහි පදනම ශක්තිමත් වන බව මාගේ විශ්වාසයයි. එතුමියගෙන් පසුව ජේ.ආර් ජයවර්ධන මහතා සහ එතුමියගේ දියණිය විසින් එම ශක්තිමත් පදනම හෙවත් පාදම කඩා සූත්‍ර විසිත්ර කළ බැවින් ඒ මත ගොඩ නැගූ නාගරික ඉදිකිරීම් සේ සේවා මුල්කරගත් ආර්ථිකයේ උපරිම ව්‍යුහය මතුපිටින් අලංකාර වුවත් අභ්‍යන්තරයෙන් ඉතා දුර්වල සහ සෙලවෙන එකකි. කෝවිඩ් වසංගතයේදී අප අත්විඳින්නේ එම උපරි ව්‍යුහයේ එක් දුර්වල පැතිකඩකි.
මහින්ද රාජපක්ෂ මහතා එසේ කැඩී බිඳී ගොස් තිබූ පාදම ශක්තිමත් නොකර ඒ මත උස් බිත්ති බැඳීමට ප්‍රශස්ථ උත්සහායක් ගනු ලැබුවත් එය ස්ථාවර ශක්තිමත් ආර්ථික ව්‍යුහයක් බවට පත් කිරීමට නොහැකි විය. එනම් එම උත්සහාය සාර්ථක නොවීය. එම වරද ඔබතුමා කළද ප්‍රතිඵලය වෙනස් වන්නේ නැත. එම නිසා පැලැස්තර ඇලවීම වෙනුවට නිර්භීතව ආර්ථිකයේ පදනම හෙවත් සිරිමාවෝ මැතිණිය විසින් දැමූ පාදම නැවත ශක්තිමත් කිරීමට ඔබතුමා තීරණය කරන්නේ නම් මෙම ප්‍රතිපත්තිමය තීන්දුව රටේ ඉදිරි ගමනේ හැරවුම් ලක්ෂයක් වනු ඇත. එම නිසා ආරම්භක පියවර ලෙස වී ගොවිතැන, වී ගොවියා, සහල් කර්මාන්තය, සහල් කර්මාන්තකරුවා සහ රටේ ආහාර සුරක්ෂිතතාවය විනාශ මුඛයෙන් ගලවා ගැනීම සඳහා අප යෝජනා කරන ප්‍රතිපත්තිමය තීන්දුවට අවතීර්ණ වන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අප රටේ ජනතාවගේ සභ්‍යත්ව විඥ්ඥාණය ඔබතුමාට ආශිර්වාද කරන බවට කිසිඳු සැකයක් නැත.
සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, කැඳවුම්කරු ජාතික සංවිධාන එකමුතුව
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට