තමා ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇමරිකාව බලා යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් සියල්ල අසත්‍ය බව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි පවසයි.
ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇරයුමක් ලැබී ඇතත්, තමාගේ මූලික අරමුණ තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ‘අරුණ’ කළ විමසීමකදී සඳුන් වීරක්කොඩි කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සඳුන්….
‘ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 3කට ක්‍රීඩා කළා. අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතර හිටියා. නමුත් අඩුම තරමේ නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් ක්‍රීඩකයින් 100 දෙනා අතරටත් මගේ නම ඇතුළත් වුණේ නැහැ. ලංකා ප්‍රිමියර් ලීග් හි දෙවැනි තරගාවලිය ඉදිරියේදී පැවැත්වෙනවා. ඒ තරගාවලියෙන්වත් අවස්ථාවක් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. එහෙමවත් අවස්ථාවක් නොලැබුණොත් ක්‍රිකට් වගේම මගේ ජීවිතයේ ඉදිරි අනාගතය පිළිබඳවත් තීරණයක් ගන්න වෙනවා’ යි යනුවෙන් කියා සිටියේය.
27 හැවිරිදි සඳුන් දකුණු අප්‍රිකාවට එරෙහිව 2017 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තේය. අදාළ දකුණු අප්‍රිකා සංචාරයේ පසුව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් ඔහුට නොලැබුණු අතර එම සංචාරයේ සහභාගි වූ එක්දින තරග තුනේදී අර්ධ ශතකයක් ඇතුළුව ලකුණු 78ක් රැස්කිරීමට ඔහුට හැකි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට සමු දී පළමුවෙන්ම ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාව බලා පිටත් වූ අතර දෙවනුව වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු ඉකුත් 14 වැනිදා ඇමරිකාව බලා පිටත් වූයේය. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි