ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව පවත්වන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී ඉකුත් 26 වැනිදා ආරම්භ විය.
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව පැවැත්වෙන මෙම අභ්‍යාසයේ මුහුදු අදියර 26 සහ 27 දෙදින පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ‘සයුරළ’ සහ ‘ගජබාහු’යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212, බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් ද ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් Littoral Combat Ship වර්ගයට අයත් ‘චාල්ස්ටන්’ (LCS – 18) නෞකාව සහ එම නෞකාවට අයත් එම්.එච් – 60S වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද එක් විය.
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාව ද සමුද්‍රීය ආවේක්‍ෂණ අභ්‍යාස සඳහා එක්වූ අතර උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාස සහ රාත්‍රි නෞකා පෙළ පවත්වා ගැනීමේ අභ්‍යාස 26 වැනිදාත්, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම, නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම, නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස ජුනි මස 27 වැනිදාත් සිදු කෙරිණි.
සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන් අද (28) සහ හෙට (29) දිනයන්හි පැවැත්වෙන අතර එයට සයුරළ සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බී – 200 වර්ගයේ නිරීක්‍ෂණ ගුවන්යානාවක් මෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික චාල්ස්ටන් (LCS – 18) නෞකාව සහ Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවත්, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) Destroyer වර්ගයට අයත් JMSDF Yuugiri නොකාව සහ එම නෞකාවට අයත් SH – 60J වර්ගයේ හෙලිකොප්ටර් යානාවද එක්වීමට නියමිතය.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජුනි 30 වන දින පැවැත්වීමට නියමිත බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සදහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් රැසක් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවන බව නාවික හමුදාව පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්