ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නෙබ්‍රස්කා’ (Nebraska) ප්රාන්තවාසී 61හැවිරිදි කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමේ දුර්ලභ පුවතක් ලෝකය පුරා පැතිරයමින් පවතී. එම මිත්තණිය මිනිපිරියක් මෙලොවට බිහිකරනු ලැබීමේ කාර්යයට දායක වී තිබෙන්නේ සිය පුතුගේ සහ ඔහුගේ ස්වාමිපුරුෂයාගේ දරුවා ගර්භාෂයේ තබා පෝෂණය කරන ලද මව (surrogate) හැටියටය.
සිසිල් එල්ඩ්ජ් (Cecile Eledge) නම් එම මිත්තණිය දැරියක් ප්‍රසූත කරන ලද්දේ සිය පුතු මැතිව් එල්ඩ්ජ් (Matthew Eledge) සහ ඔහුගේ සැමියා වන එලියට් ඩොඅටි (Elliot Dougherty) වෙනුවෙනි. පසුගිය සතියේ මෙලොව එලිය දුටු එම දැරිය උමා ලුවිස් (Uma Louise) යනුවෙන් නම් තබනු ලැබ ඇත.
තම පුතු සහ ඔහුගේ සැමියා ඔවුන්ට පවුල් දිවියක් ආරම්භ කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු තමා ඔවුන් දෙදෙනාගේ දරුවාගේ මව වීමට තීරණය කළ බව එම 61 හැවිරිදි කාන්තාව පවසන්නීය.
අදාළ යෝජනාව ඉදිරිපත් වූ මුල් අවස්ථාවේ සිසිල් 59 වෙනි වියේ පසුවූ අතර ඒ මොහොතේ එය පැවතුනේ ඉටුකළ නොහැකි ‘විහිළු අදහසක්’ මට්ටමිනි.
“එය සැබැවින්ම, ඇයගේ පාර්ශ්වයේ අලංකාර හැඟීමක් ලෙසයි පෙනුනේ,” එලියට් ඩොඅටි පවසයි.
“ඇය පුදුමාකාර පරහිතකාමී කාන්තාවක්.”
සිසිල් සහ ඇයගේ සැමියා වාසයකරන ප්‍රදේශය අසල ජීවත්වන ‘ඔමාහා’ ප්‍රදේශයේ ජීවත්වෙන මැතිව් සහ එලියට් ඔවුන් සඳහා දරුවකු බිහිකර ගැනීමේ මගක් සඳහා කෘත්‍රිම දරු උපත් සඳහා සායනික කටයුතුවල නිරතවෙන වෛද්‍යවරයකුගේ උපදෙස් පතා ඇති අතර, එය සාක්ෂාත් කරගත හැකි අභිප්රායක් විය.
යෝජනාව ඉදිරිපත්වීමෙන් අනතුරුව සිසිල් එල්ඩ්ජ් සාකච්ඡාවන් සහ සායනික පරීක්ෂණ මාලාවකට සහභාගි කෙරුණ අතර, අවසානයේ දී සිය පුතුගේ දියණිය සඳහා සිය ගර්භාෂය උපයෝගීකර ගැනීමට යෝග්‍ය තත්වයක ඇය සිටින බව පෙනී ගොස් ඇත.
“මම ඉතාම යහපත් දැනුවත්භාවයක සිටිනවා,” සිසිල් පවසයි. “දරුවකු බිහිකිරීම සඳහා මට ඇති හැකියාව සම්බන්ධයෙන් කවරාකාරයකවත් සැකයක් තිබුනේ නැහැ.”
සිසිල්ගේ ගර්භාෂයේ තැන්පත්කිරීම සඳහා කළලය සැකසීමට අවශ්‍ය පුරුෂ බීජ මැතිව්ගෙන් ලබාගෙන ඇති අතර ඩිම්බය පරිත්‍යාගකර තිබෙන්නේ එලියට්ගේ සහෝදරියයි.
දරුවන් පතන සමලිංගික ජෝඩු ඒ සඳහා ඇති අවසන් විසඳුම IVF දරුවකු වියහැකි බව සැලකිල්ලට ගන්නා අතරවාරයේ තමන් දෙදෙනාත් ස්වීය වූ ජෛවීය දරුවකු බිහිකර ගැනීමට ඇති එකම බලාපොරොත්තුව එය යයි වටහාගත් බව කොණ්ඩා මෝස්තර ශිල්පියකු වන එලියට් ඩොඅටි පවසයි.
“අපි නිතරම දැන සිටියා – අපි ජයගත යුතුව ඇති බව. අපි නිර්මාණශීලීව වෙනත් විධියකට සිතිය යුතු බව,” පාසල් ගුරුවරයකු වන මැතිව් පවසයි.
BBC පුවත් සේවය ඇසුරෙනි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි