උතුරේ දූපත්වල බලාගාර හදන්න අවසන් තීරණයක් නැහැ -ඇමති ඩලස්

යාපනයේ දූපත් තුනක්, විදුලි ව්‍යාපෘතියක් සඳහා චීන සමාගාමකට ලබා දී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය. 

යාපනය දූපත් තුනක් සඳහා වන විදුලි ව්‍යාපෘතියකට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තරව ටෙන්ඩර් කැඳවීමක් පසුගිය 2019 වසරේ ජූලි මාසයේ සිදුකර තිබූ බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 

ඒ අනුව, චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් ද ඉදිරිපත්ව ඇති බවත් ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ චීන සමාගමට අදාළ විදුලි ව්‍යාපෘතිය ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  ‍

කෙසේ වෙතත්, මෙම විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අවසන් තීරණය ක් ගෙන නොමැති බවත් මෙහිදී කිසිවිටක විදෙස් සමාගම් වෙත දූපත් බදු දීමක් සිදුනොකරන බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com