එජාපයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් කොළඹට කැඳවයි

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියලුදෙනාම අද කොළඹට කැඳවා තිබෙනවා.


පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අද උදෑසන 10.30ට ඔවුන් සියලුදෙනාම සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කැඳවා ඇති බවයි.


පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර, නව නායකත්වය තෝරා පත් කර ගැනීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා ගැනීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ තීරණය කළා.


පසුගිය අගෝස්තු පස් වනදා පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක්වූ අතර, අනතුරුව, වසර 26 ක කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ඒ අනුව, නව පක්ෂ නායකත්වය සඳහා නම් 08ක් යෝජනා කෙරුණා.


මේ අතර පක්ෂය ඉල්ලීමක් කරන්නේ නම් නායකත්වය භාර ගැනීම සඳහා තමන් සූදානම් බව හිටපු කථානායක කරු ජයසූරිය ඊයේ කැමැත්ත පළ කළා.කෙසේ වෙතත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ තරුණ දේශපාලනඥයෙකු ඉදිරි නායකත්වය සඳහා පත් කළ යුතු බවටයි.


ඒ අනුව මේ වනවිට පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා කර ඇති අයට වගකීම් බෙදා දෙමින් ඔවුන්ගේ හැකියාව මත ඉදිරි නායකත්වය තෝරා ගැනීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය පළ වී තිබෙනවා. ඒ සඳහා මාස 06 ක කාලයක් ඔවුන්ට ලබාදෙන අතර, රනිල් වික්‍රමසිංහ අදාල මාස 06 තුළ තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කරනු ඇති.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com