1948 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන විට කිසිදු රටකට ණය නොවී ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් හිමි කරගෙන සිටි ශ්‍රී ලංකාව අද වනවිට විදෙස් ණය මත ක්‍රියාත්මක වන ආර්ථිකයක් හිමි රටක් බවට පත්ව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එපමණක් නොව නිදහස ලබන විට අප කාර්යක්ෂම රාජ්‍ය පාලනයක්, ස්වාධීන අධිකරණ පද්ධතියක් හිමි ආසියාවේ ආදර්ශමත්ම රටක් ලෙස තිබූ බවද ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
එසේ පැවති රටක් පසුගිය අවුරුදු 72 තුළ ලෝකයේ අන්ත දූෂිත, පිරිහුණු රාජ්‍යයක් වී ඇති බවත්, පසුගිය 72 වසර තුළ රටේ සිටි පාලකයන් සියලු දෙනා වගකිව යුතු බවත් හිටපු කතානායකවරයා සඳහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය හෙට දවස’ පුරවැසි සම්මන්ත්‍රණයට සහභාගිවෙමිනි.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රාජ්‍යය හා පෞද්ගලික අංශ සහයෝගීතා සංකල්පය (Public Private Partnership – PPP) ආසියාවේ පළමුවරට ආරම්භ කළ අවස්ථාවේදී එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස කොරියාවේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් සමග එක්ව ආසියාවේ විශාලතම අපනයන පාවහන් කර්මාන්ත ශාලාව මෙරට තුළ ස්ථාපිත කළ බවයි.
මෙම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට මෙරටට පැමිණි මැලේසියානු අගමැති මහතීර් මොහමඩ් මහතා සහ එවකට ෂැංහයි නගරාධිපතිවරයා වූ ජියෑං සෙමින් නැවත ඔවුන්ගේ රටවලට ගොස් එම සංකල්පය සාර්ථකව අත්හදා බැලීම හරහා මැලේසියාව හා චීනය සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත් බවද කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. එදා චීනය ඇතුළු ආසියාවේ රටවල් ශ්‍රී ලංකාව දෙස බලා ඔවුන්ගේ රටවල් දියුණු කළ නමුත් අද වනවිට අපට චීනය නොමැතිව ජීවත් විය නොහැකි මට්ටමට පත්ව ඇති බවද ජයසූරිය මහතා පවසනවා.
වරාය නගරය විදෙස් ආයෝජකයන් සමග දියුණු කිරීම කිසිදු ගැටලුවක් නොවන නමුත් එහිදී රජය අනුගමනය කරන හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත සියලු දෙනාටම ප්‍රශ්නයක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී හිතුවක්කාරී ලෙස, ව්‍යවස්ථාවට පටහැනි ලෙස කටයුතු නොකර සියලු දෙනා සමගම සාකච්ඡා කර, අදහස් විමසා බලා කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ජයසූරිය මහතා පවසන්නේ.
- Lanka News web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්