අවසන් දින 04 තුළදී පමණක් ඔක්සිජන් මත ජීවිතය පවත්වාගෙන යන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය 120% කින් පමණ වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔක්සිජන මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය 133 සිට දින 04 ක් තුළ 300 ක් දක්වා වර්ධනය වී ඇති බවයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.
මෙම තත්වය මත කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත්, ඊට ඇති එකම විසඳුම අවදානම් මට්ටමේ සිටින පුද්ගලයන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදීම බවත් සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව ප්‍රමුඛතා ලැයිස්තු මත එන්නත්කරණය සිදුවිය යුතු බවත් විශේෂයෙන් වයස අවුරුදු 60 ඉක්මවූ සියලු ශ්‍රී ලාංකිකයන්ට පළමුව එන්නත් ලබාදිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කරනවා.
එන්නත් මාත්‍රා මිලියන 30 ක් පමණ එකවර ගෙන්වා කඩිනමින් එන්නත් ලබාදීමෙන් වසංගත තත්වය සැළකිය යුතු මට්ටමකින් පාලනය කළ හැකි නමුත් එවැනි වැඩපිළිවෙලක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බැවින් ලැබෙන එන්නත් ප්‍රමාණය ලබාදීමේදී වයස්ගත පුද්ගලයන් ඇතුළු අවදානම් මට්ටමේ සිටින පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසනවා.
මෙරට වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය මිලියන 2.7 ක් වන අතර ඔවුන් සඳහා එන්නත් මාත්‍රා මිලියන 5.4 ක් අවශ්‍ය වේ.
එන්නත්කරණය අයාලේ යාමට ඉඩ හැරියහොත් ඉතා භයානක තත්වයක් ඇතිවිය හැකි බවත්, කෙසේ නමුත් එම අනතුර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් තවමත් තේරුම් ගෙන නොමැති බවත් සෙනල් ප්‍රනාන්දු මහතා පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්