කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය බවට මෙතෙක් තහවුරු වී නැති බව පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා.
සයින්දමරුදු පිපිරීම සිදුවන අවස්ථාවේ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ සාමන්ත විජේසේකර මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමිනුයි මේ බව ප්‍රකාශ කළේ. ඔහු තවදුරටත් කියාසිටියේ සයින්දමරුදු පිපිරීම සිදු වූ නිවස ඉදිරිපිට මාර්ගයේ තිබී රුපියල් නවලක්‍ෂ අසූපන් දහසක්, පන්දහසේ කොළවලින් තිබී සොයා ගත් බවයි.
ලැබෙන තොරතුරු මත අදාළ නිවස වැටලූ අවස්ථාවේ අඳුරේ වෙඩි තැබීමට යොදා ගන්නා බුලට් ආධාරයෙන් ඉහළට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් ඒ සමගම පිපිරීමක් සිදු වූ බවත් ඔහු සඳහන් කළා. නිවස පරික්‍ෂා කිරීමේදී ත්‍රස්තවාදීන් හා එම පවුල්වල 16 දෙනෙකු මිය ගොස් තිබූ බවත් එහි තිබී මෘත ශරීර හා කොටස් හමු වූ බවත් ඔහු පැවසුවා. තමන් ඇතුලු පිරිස නිවසට ඇතුලු වි සුළු මොහොතකින් නිවසේ පිටුපස කාමරයකින් දරුවෙකු හඬන ශබ්දයක් ඇසුණා.
එම කාමරයේ තුවාල ලබා සිටි දරුවෙකු හා වැඩිහිටි කාන්තවක සොයා ගත්තා. ඔවුන් සහරාන් හෂීම්ගේ දියණිය හා බිරිඳ බව පසුව තහවුරු වූ බව ද සාක්‍ෂිකරු පැවසුවා. සයින්දමරුදු පිපිරීම සම්බන්ධයෙන් මුල සිට විමර්ශනය කළ තමන් 2019 ජූලි 24 වනදා හදිසියේ මාරුකර යැවීම නිසා විමර්ශනවලට බාධා එල්ල වූ බව ද සාක්‍ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා. ත්‍රස්ත කණ්ඩායම ගිරිඋල්ල ප්‍රදේශයෙන් සුදු රෙදි මිල දී ගෙන තිබීමත් සමග ආගමික උත්සවයක් ඉලක්ක කර දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ සැක මතු වූ බවයි සාක්‍ෂිකරු පැවසුවේ.
දෙවන ප්‍රහාරයේ ආගමික පැතිකඩ සොයා බැලීමට සහරාන් හෂීම්ගේ සොයුරු ශෛයිනි පත්කර තිබුණා. ඔහුගේ අනෙක් සොහොයුරා රිල්වාන්ට අනෙකුත් පැති භාර දී තිබූ බව සාක්‍ෂිකරු හෙළි කළා. මේ අනුව මෙම ත්‍රස්තයන් හා සම්බන්ධ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම තම ස්ථාන මාරුව හරහා වැළකී ගිය බවයි සාක්‍ෂිකරු කියාසිටියේ. කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන ත්‍රස්තයාගේ බිරිඳ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් පිළිබඳ මෑතදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියෙකු වන ප්‍රධාන පොලිස් පරික්‍ෂක අර්ජුන මාහිල්කන්ද මහතා ද සාක්‍ෂි ලබා දුන්නා.
ඔහු කියාසිටියේ මෙම තැනැත්තිය කලවංචිකුඩි මාන්කාඩු ප්‍රදේශයේ සැඟවී සිටින බවට ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකුගේ තොරතුරක් පසුගිය ජූලි 6 වනදා තමන්ට ලැබුණු බවයි. ජූලි 8 වනදා ඒ පිළිබඳ තමන් මඩකලපුවට ගොස් අදාළ පුද්ගලයා හමු වී තවත් තොරතුරු ලබා ගත් බව ද ඔහු පැවසුවා. එම සාක්‍ෂියට අනුව සාරා නමැත්තිය ඉකුත් සැප්තැම්බර් මාසයේ දිනක අලුයම 3.15 ට මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව් ප්‍රදේශයේදී දැක තිබෙනවා.
පිරිමින් දෙදෙනෙකු සමග පාරට පැමිණි කාන්තාව මාර්ගයේ නවතා තිබූ බටර් පැහැති පිකප් රථයක පසුපස ආසනයකට ගොඩවී තිබෙනවා. අදාළ රථයේ රියදුරු අසුනට යාබඳව තමන් දන්නා තවත් පුද්ගලයෙකු සිටි බවයි ඔහු පවසා ඇත්තේ. එම නිලධාරියා පාස්කු ප්‍රහාරය වන විට කලවන්චිකුඩි පොලිස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව සිටි මෑතකදී අත්අඩංගුවට ගත් අබු බකර් නම් නිලධාරියා බව සාක්‍ෂිකරු හඳුනාගෙන තිබෙනවා.
සාරා නමැත්තියට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට ආධාර කළ දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති බව විමර්ශන නිලධාරියා පැවසුවා. ඒ ඇයගේ මවගේ නැගණියගේ ස්වාමියා හා ඔහුගේ සහෝදරයායි. සාරා ජෙස්මින්ගේ මව රැඳී සිටි තේතාතිව් ප්‍රදේශයේ නිවසට ගිය ද ඇය එහි සිට නැහැ. එහෙත් අසල්වැසියන්ගේ තොරතුරු මත හෙළි වූයේ ඊට පෙර දිනවල ඇය එහි සිට ඇති බව යැයි ප්‍රධාන පොලිස් පරික්‍ෂක අර්ජුන මාහිල්කන්ද මහතා තවදුරටත් සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ