ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුතින් පාලක මණ්ඩලයක් පත් කිරීමට හැකි ඉක්මනින් පියවර ගත යුතු බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂට බල කරන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ඇත්නම් එළැඹෙන ජුනි 08 වැනිදාට පෙර ගොනු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (15 වැනිදා) පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියම කළේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට හේතුවන රෙගුලාසි ඇතුළත් කර අලුතින් ව්‍යවස්ථාවක් සකස් කර ඒ යටතේ පත් කරනා පාලක මණ්ඩලය පාර්ලිමේන්තුවට, ඇමැති මණ්ඩලයට සහ ජනපතිට වගකිව යුතු බවත්, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු 12 දෙනකු ගොනු කළ පෙත්සමේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි දියුණු තත්ත්වයට පත්කිරීමට නම් එය පවත්වාගෙන යාමේ කාර්යභාරය අවංක සමස්ත මත දරන, ක්‍රීඩාවට ලැදි පුද්ගලයන්ට පැවරිය යුතු යැයිද පෙත්සමෙන් යෝජනා කර ඇත.
මයිකල් තිසේරා, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික විනිසුරුසලීම් මර්ෂුක්, ජනාධිපති නීතිඥ දිනාල් පිලිප්, කේ. ප්‍රසන්න ගුණසේකර, ආචාර්ය පාලිත ටිකිරි බණ්ඩාර, රියන්සි විජේතිලක, විජය මලලසේකර, ඒ.ජී. පුංචිහේවා, සෝමසුන්දරම් ස්කන්ධ කුමාර්, තිලාන් විජේසිංහ සෙසු පෙත්සම්කරුවෝ වෙති.
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවින් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වතුහේවා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු 19 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරායා හමුවේ පෙත්සම ඊයේ කැඳවන ලදී.
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන පෙනී සිටි අතර, ඔහු කියා සිටියේ පවතින ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවයි. පෙත්සමෙන් මතුකර ඇති ප්‍රශ්න කිසිවක් සාකච්ඡාවට භාජනය නොකළ බවත් ඔහු කීය.
පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා දරන ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සඳහා ඔහුගෙන් උපදෙස් ලබාගැනීමට අවස්ථාවක් නොලැබුණු බවද නියෝජ්‍ය සොලිසිටර්වරයා පැවැසීය.
වග උත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා කල් දුන්නේ ඉන් අනතුරුවය. ලබන ජුනි 08දා පෙත්සම යළි කැඳවීමටද නියම කෙරිණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්