’කොප්26’ පරිසර සමුළුව අවසන්

සති දෙකක් තිස්සේ පැවැති ‘කොප්26’ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව, වාද විවාද මැද නිමාවට පත් වූයේ හරිතාගාර වායු විමෝචනයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ගල් අගුරු ඇතුළු පොසිල ඉන්ධන භාවිතය කප්පාදු කිරීමට ලෝක නායකයන් අතරේ පොදු එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවය.

ගල් අගුරු ඇතුළු පොසිල ඉන්ධන භාවිතය කප්පාදු කිරීමට බලවත් රටවල් බොහොමයක් අදිමදි කළ ද ‘කොප්26’ සමුළුවේ අවසන් දිනයේ අවසන් පැය කීපයේ දී ඔවුන් ගල් අගුරු භාවිතය කප්පාදුවට කැමැත්ත පළ කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘කොප්26’ යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 26 වැනි වරට පැවැත්වුණු දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුවය. සමුළුව පැවැත්වූයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරය. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ පැවැති සමුළුවට රටවල් 200 ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ සහභාගී වූහ. සමුළුව සති දෙකක් තිස්සේ පැවැත්වුණු අතර, පළමු දින දෙක වෙන්වී තිබුණේ රාජ්‍ය නායකයන් වෙනුවෙනි. ඉන්පසු තීන්දු තීරණ ගැනීම සිදුවූයේ රටරටවල නියෝජිතයන්ගේ මැදිහත් වීමෙනි.

සමුළුව ආරම්භයේ දී පටන් එහි සභාපති ධුරය හොබවන බ්‍රිතාන්‍ය දේශපාලනඥයකු ද වන ආලෝක් ෂර්මා මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද ලෝක නායකයන්ට පෙන්වා දී තිබුණේ, ගෝලීය උණුසුම අවම කර ගනිමින්, එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින ප්‍රචණ්ඩවන දේශගුණික විපර්යාස පාලනය කර ගැනීමට මිනිස් වර්ගයාට ලැබෙන අවසන් අවස්ථාව මෙම ‘කොප්26’ සමුළුව බවය.

ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රධාන සාධකය ගල් අගුරු භාවිතයයි. කාබන් විමෝචනයෙන් සියයට 40ක් සඳහා දායකත්වය ලබා දෙන්නේ ගල් අගුරු භාවිතය යැයි පැවැසෙයි.  2015 වසරේ දී ඇති කරගත් පැරිස් සම්මුතියට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට සම්මුතීන් සකස් කෙරුණි.

එසේ වුවත් සමුළුව අවසන් වූයේ ආලෝක් ෂර්මා සහ ඇන්තෝනියෝ ගුටරේස් ඉතාමත් හැඟීම්බරව ලෝ වැසියන් ආමන්ත්‍රණය කරමිනි. ගෝලීය උණුසුම අවම කිරීමට සම්මුතීන් ඇති කර ගැණුනත්, ඒවා ප්‍රමාණවත් නොවන බවත්, අවශ්‍ය පරිදි සම්මුතීන් ඇති කර නොගැනුණු බවත් පැහැදිලි කරමිනි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අවධාරණය කළේ ‘කොප්26’ සමුළුවේදී, ලෝක නායකයන් එක් වී, පණ අදින ලෝකය, දිවි සුරැකුම් යන්ත්‍රයකට සම්බන්ධ කළා හා සමාන බවය‍.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com