නිවසේ සිටින රෝගීන් එළියේ සැරිසැරුවොත් නීතිය ක්‍රියාත්මකයි
කොවිඩ් ආසාදනය වූවන් රෝහල්වලට ඇතුළත් කිරීමට පෙර නිර්ණායක තුනක් යටතේ වර්ගීකරණය කර අත්‍යවශ්‍යම රෝගීන් පමණක් ඇතුළු කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.
කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම පැවැති අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දී ඇත.
එහි දී දැඩි අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්, ඔක්සිජන් ලබාදිය යුතු රෝගීන් හා සාමාන්‍ය රෝග ලක්ෂණ දක්නට ඇති රෝගීන් වෙන් කර හඳුනා ගෙන සාමාන්‍ය රෝග ලක්ෂණ ඇති රෝගීන් නිවසේදීම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතය. රෝහල්වල පවතින අධික තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගැනීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් නිවාසවල කොවිඩ් රෝගීන් රඳවා ප්‍රතිකාර කිරීම හා නියාමනය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කර ඇත.
දැඩි අසාධ්‍ය තත්ත්වයේ නොවන සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් නිවාසවල වෙනම කාමරයක තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාදේශීය වෛද්‍ය කාර්යාලවලට උපදෙස් ලබා දී ඇත. එම රෝගීන් දෛනිකව නියාමනය කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල වෛද්‍යවරුන්ට පැවරෙයි.නිවෙස් වැසියන්ටද වෙනම සෞඛ්‍ය උපදෙස් ලබා දෙනු ලබයි. දින 14කට පසු රෝගියා හා නිවැසියන් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ යුතුය.
මෙලෙස නිවාසවල තබා ප්‍රතිකාර කරන කොවිඩ් රෝගියකු නිවසෙන් පිටත සැරිසරන බවට වාර්තා වුවහොත් නිරෝධායන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්