කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් ලෙස ඉදි කරන ගුවන් පාලම් මාස 12ක් ඇතුළත නිම කරන ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස් දුන්නේය.
කොළඹ හා ඒ ආශ්‍රිත නගරවලත් දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවලත් පවතින අධික රථ වාහන තදබදය ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලද අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස වාහන තදබදය අධික ලෙස පවතින හඳුනා ගත් ප්‍රදේශවල දේශීය අරමුදල් යටතේ ගුවන් පාලම් ඉදි කිරීමට මහා මාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කොට ඇත.
ඒ අනුව කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද, උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද, එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ගුවන් පාලමක් ද ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විනිසුරු අක්බාර් මාවතේ ඉදි කරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදි කරන ගුවන් පාලම දිගින් මීටර 396කි. එහි පළල මීටර 10.4කි. මේ ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදි කරන ගුවන් පාලමේ දිග මීටර 310කි. එහි පළල මීටර 6.9කි. මේ සඳහා රුපියල් මිලියන 5,270ක් වැය වේ. මාස 12ක කාලයක් ඇතුළත මේ ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.
බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ඉදි කරන ගුවන් පාලම මාස 12ක කාලයක් ඇතුළත රුපියල් මිලියන 2,730ක වියදමින් දිගින් මීටර 360ක් සහ පළල මීටර් 11කින් යුක්තව ඉදි කෙරේ.
විෂය භාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා විසින් මේ ගුවන් පාලම් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කරනු ලැබීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්