කෲඩියා සිලනිකා මැදිකර අධිවේගී මාර්ගය ඉදිකිරීමට තීරණය කරයි

රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ”පණු කරඳ” හෙවත් කෲඩියා සිලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගයේ වෙනස්කම් සිදුකරමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ ඊයේ (16) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ එකඟතාවට පැමිණි බවය.

මේ අතර කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසනවා.

එම ශාඛය කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙස උපදෙස් දී ඇති අමාත්‍යවරයා වැඩිදුරටත් ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අදහසට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කර තිබෙනවා.

මේ අතර ඇතැම් පරිසර විනාශයන්ට රාජ්‍ය නිලධාරීන් රුකුල් දීම කනගාටුවට කරුණක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පැවති හමුවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

“මේ කාලේ ස්වභාවික සම්පත් විනාශය උපරිමයෙන් සිදුවෙනවා. වන විනාශය සහ පරිසර විනාශය සිද්ධ වෙනවා. මෙතන දී රජයේ සමහර නිලධාරීනුත් මේ අක්‍රමිකතාවයන්ට සම්බන්ධ වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. හමුදාවෙන්, පොලීසියෙන් හරි STF එකෙන් කැලෑ හෙළිකිරීම අල්ල ගත්තහම ඒ අයට බලපත්‍ර තියෙනවා. කොහොම එහෙම බලපත්‍ර දෙනවද කියලා හිතා ගන්න අමාරුයි. ඒක වැරදි ක්‍රමවේදයක්. කණගාටුවෙන් උනත් සඳහන් කරන්න ඕනේ සමහර ප්‍රාදේශීය ලේකම්වරු අනවශ්‍ය පුද්ගලයින්ට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා.“

WP Twitter Auto Publish Powered By : XYZScripts.com