ගත වූ දින හතර ඇතුළත කොළඹ අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් ආසාදිතයන් 141 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රධාන හෙද පාලිකා ගීතානි උඩුගම් කෝරාළ පවසයි. ඊයේ (21 වැනිදා) පස්වරුව වන විට කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 8 දෙනකු ප්‍රතිකාර ලබන බවද ඇය සඳහන් කළාය.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක විස්සකින් ගත වූ පැය 24 තුළදී කොවිඩ් ආසාදිතයන් 516දෙනකු වාර්තා වී තිබේ.
කිලිනොච්චිය, පොළොන්නරුව, වව්නියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවලින් එම දිනයේදී රෝගීන් කිසිවකු වාර්තා වී නොතිබූ බව කොවිඩ් මර්දන මධ්‍යස්ථානය සඳහන් කරයි.
කෙසේ වෙතත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 94කි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ලෙස 13 දෙනකු පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ 54 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතරින් ආසාදිතයන් 41 දෙනකු වාර්තා වී තිබේ.
මෙම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලිනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 43 දෙනෙකු වාර්තා වී ඇත.
එසේම කුලියාපිටිය ශික්ෂණ රෝහල මගින් පසුගිය සතියේ කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 190ක් ඉක්මවා රෝගීන් වාර්තා වන බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප ගුණසේකර සඳහන් කළේය.
තවද යාපනය තිරුණල්වේලී වෙළෙඳසල් සංකීර්ණය ආශ්‍රිතව සහ භාරතීපුරම් ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 687න් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇත.
මේ වන විට යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත වී පුද්ගලයන් 17 දෙනකු මියගොස් තිබේ.
මේ අතර දික්ඔය මූලික රෝහලේ සේවය කරන හෙදියකට සහ ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වීමත් සමග හැටන් ප්‍රදේශයේ විදුහලක ශ්‍රේණි තුනක සිසුන් 88 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
තවද ගුරුවරුන් දෙදෙනකුද ස්වයං නිරෝධායනයේ සිටින බව සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේය. අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ සිටි 72 හැවිරිදි පුද්ගලයකු පසුගිය 20 වැනිදා රාත්‍රියේ මියගොස් ඇත.
එමෙන්ම දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා ආසාදිත රෝගීන් 38 දෙනකු ඊයේ (21 වැනිදා) දින සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
දිවුලපිටිය ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු ද, රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවැති අවුරුදු උත්සවයකින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු ද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා දෙකකින් ද, කොරෝනා ආසාදිතයන් 04 දෙනකු වාර්තා වී තිබිණි.
ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,219 දෙනකු මෙම කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ (21 වැනිදා) දින කොරෝනා ආසාදිත රෝගීන් 114 දෙනකු වාර්තා වී ඇත.
•වරුණි පෙරමුණ, මනුර සුදත් සෙල්ලහේවා – හැටන්, කිත්සිරිගේ ප්‍රසන්න – යාපනය, මනුසත් සේරසිංහ – කුලියාපිටිය, කේ.එම්.එස්. කරුණාරත්න – අනුරාධපුර, ටී.කේ.ජී. කපිල – කටුනායක.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක