මෙරට ගෘහස්ත ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් දෙකට උපදෙස් ලබාදෙන්නැයි පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් නිකුත් කර තිබේ.
ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුකූලවම පමණක් ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුකරන්නැයි ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකට සිය අමාත්‍යාංශය මගින් එලෙස උපදෙස් ලබාදී ඇති බවය.
මේ අතර දැනට කෙරවලපිටිය මුහුදේ නැංගුරම් ලා ඇති ලිට්රෝ සමාගමට අයත් නෞකා දෙකක ගෑස්වල ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද ගෑස් සාම්පල ලබාගෙන තිබේ.
මෙරට ගෑස් වෙළෙඳපොළේ සියයට 75ක පමණ අධිකාරියක් හිමි ලිට්රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් රැගත් PCG PERIKLIS හා EPIC BALTA නමැති නෞකා දෙකෙහි තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයවීමත් සමග ඒවා ගොඩබෑමේ කටයුතු අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා පියවර ගෙන තිබුණි.
ඒ, එම ගෑස්වල ගන්ධය වහනය කරන එතිල් මර්කැප්ටන් රසායනිකය දේශීය ප්‍රමිතියට අනුකූල ආකාරයෙන් නොතිබීම හේතුවෙනි.
කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු තාක්ෂණික කමිටුව PCG PERIKLIS නෞකාවේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව ලබාදුන් උපදෙස් අනුව එම රසායනිකය වැඩිකිරීමට පියවර ගත් බව ලිට්රෝ සමාගම සඳහන් කළේය.
නැවේ ගෑස් ගොඩබෑම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතාගේ අනුමැතිය හිමිව තිබුණේ ඒ අනුවය.
අවසරය හිමිවූ නෞකාවේ ගෑස් තොග දිවයින පුරා අලෙවි නියෝජිතයින් වෙත බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කළ බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.
ලිට්රෝ සමාගම සතියකට පෙර ආනයනය කළ EPIC BALTA නෞකාවත් ඊයේ පැමිණි EPIC BIRD නෞකාවත් කෙරවලපිටිය මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති අතර එම ගෑස් ගොඩබිම වෙත පොම්ප කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුවහොත් පමණි.
ඒ අනුව ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එම නෞකාවල ගෑස් සාම්පල අද ලබාගත් අතර අනුමැතිය ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි ලිට්රෝ සමාගම සඳහන් කරයි.
කෙසේවෙතත් ගෑස් නෞකාවල ඇතිවූ මෙම ප්‍රමාදය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් අසීරුතාවට පත්වී සිටී.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ ගෑස් අනතුරු 23ක් සිය කාර්යාලය වෙත වාර්තා වී ඇති බවය.
මොනරාගල සෙවණගල මුතුමිණිගම ප්‍රදේශයේ නිවසක අද දහවල් ගෑස් ලිපක් පුපුරා යෑමෙන් එක් අයෙකු තුවාල ලබා තිබුණි.
උඩුනුවර වෙලම්බොඩ නගරයේ නිවසක ලිට්රෝ ගෑස් සිලින්ඩරය සහිත ලිප ඊයේ පස්වරුවේ පුපුරා ගොස් තිබුණි.
අනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ඊයේ පස්වරුවේ පුපුරා යෑමෙන් අනතුරක් සිදුවිය.
මාතලේ රත්තොට ප්‍රදේශයේ නිවසකත් ගෑස් ලිප පුපුරා යෑමෙන් අනතුරක් සිදුව තිබේ.
මැදිරිගිය බිසෝබණ්ඩාරගම ප්‍රදේශයක නිවසක ගෑස් ලිප පුපුරා ගොස් තිබුණේ ලිප ක්‍රියාත්මක කර ආහාර පිසිමින් සිටි අවස්ථාවේදීය.
ගෑස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව හෙට දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇතැයි කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ‘අද දෙරණ’ කළ විමසීමකදී සඳහන් කළේය.
ගෑස් ආශ්රිත පිපිරිම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ලිට්රෝ සමාගමේ සභාපතිවරයාද ඇතුළු නිලධාරීන්ගන් ප්‍රකාශ ලබාගනිමින් සකස් කළ වාර්තාවක්ද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව එම කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්