ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති ආර්ථික හානිය සඳහා මේ වනවිටත් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදලක් ඉල්ලා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති, නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ නීතිපතිවරයා හරහා අදාළ වන්දි මුදල ඉල්ලා ඇති බවය.
නෞකාවෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ද වන්දි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.
“පළමුවෙනි වන්දි මුදල් ඉල්ලීම මේ වනවිටත් සිදුකර අවසන්. සෘජුව ගන්න පුළුවන් හානිය තමයි අපි ඉල්ලලා තියෙන්නේ ඔවුන්ගෙන්. ඒ සමගම පරිසර හානිය පිළිබඳව විද්වත් කමිටුව කටයුතු කරමින් පවතිනවා. ඒ වාර්තාව ලැබුණට පසුව දෙවනි ඉල්ලීම සිදුකරනවා,” යනුවෙන් ද ඇය පැවසුවාය.
මේ අතර අදාළ නෞකාවෙන් පරිසරයට එකතු වූ අපද්‍රව්‍ය කන්ටේනර් 40ක පමණ තොගයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ අපද්‍රව්‍ය වැඩිපුරම එකතු වී ඇත්තේ සරක්කුව ප්‍රදේශයට බවය. ඉවත් කරන ලද අපද්‍රව්‍ය අඩංගු එක කන්ටේනරයක් දල වශයෙන් මෙට්‍රික්ටොන් 20ක් පමණ බරකින් යුක්ත බවද ඇය පෙන්වා දුන්නාය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්