ආණ්ඩුව සමඟ පවතින ගිවිසුමක් හේතුවෙන් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියා කළ බව ස්වාධීන ගුරු සේවා සංගමය චෝදනා කරයි.
අවසන් තීරණයක් නොමැතිව ගුරු වර්ජනය නිමා කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව පෙන්වාදෙන එම සංගමය, මෙම වර්ජනය අවසන් කළ යුතුව පැවතියේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු දිනයේ දී බව සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ස්වාධීන ගුරු සංගමයේ ලේකම් චන්දිමාල් විජේරත්න මහතා,
“විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගත්තා වු නිගමනය සම්බන්ධයෙන් අපේ කිසිම එකඟත්වයක් නෑ. මේ වැඩ වර්ජනය අතහැරීමට ඔවුන් ගත්ත තීරණය තුළ කිසිම සාධනීය ප්‍රතිඵලයක් ලැබිලා නෙමෙයි ඒ තීන්දුව ගත්තේ. එහෙම නම් වැඩවර්ජනය අතහැරීමට තිබුණේ, අගමැති සමඟ සාකච්ඡාව අවසන් වු දවසේමයි. නමුත් අද වෙනකොට අලුත් දෙයක් නොලැබී තිබිය දී මේ වැඩ වර්ජනය පවාදීමක් හැටියට තමයි අපි දකින්නේ. ඇත්ත වශයෙන් ම ආණ්ඩුවත් එක්ක යම් ආකාරයක ගිවිසුමක් තිබුණා ද කියලා අපිට සැක හිතෙනවා. ඒකට හේතුව පසුගිය දවස් ටිකේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හා ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි එකමුතුවත් අතර එකඟතාවයක් ඇති කරන්නට යම් යම් කොටස් උත්සහ කළා. ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සමහර නායකයෝ ඒකට විරුද්ධ වුණා. ඒකෙන් තේරෙන්නේ යට යම් ආණ්ඩුව සමඟ ගිවිසුමක් ඇති බවය.”
මේ අතර එළැඹෙන 25වැනිදා පාසල් වෙත පැමිණ අධ්‍යයන කටයුතු ආරම්භ කළ ද අතිරේක සේවාවලින් ඉවත්වන බව ලංකා ගුරු සංගමය පවසයි.
අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.
“ඔය සටන පාවාදුන් බව කියන්නේ කවුද? එක්තරා විදුහල්පති සංගමයක පුද්ගලයෙක් ඊයේ කිව්වා. ඔය පුද්ගලයින් තමයි අපි ශිෂ්‍යත්ව, උසස් පෙළ විභාග අයදුම්පත්‍ර ඉදිරිපත් නොකර ඉන්න වෙලාවේ, රජය වෙනුවෙන් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියලා උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කරන්නැයි කියපු අය තමයි මේ කියන්නේ.”
වැටුප් විෂමතාවවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 100ක් ගතව තිබේ.
යෝජිත වැටුප් වැඩිකිරීමෙන් තුනෙන් එකක් පළමුවත්, ඉතිරිය ඊළඟ වසරේ දෙවනුවත් වශයෙන් කොටස් දෙකකට ලබාදීමට පසුගිය 12 වැනිදා අගමැති එකඟතාව පළ කළත් වෘත්තිය සමිති සන්ධානය එය ප්‍රතික්ෂේප කරමින් වර්ජනය අඛණ්ඩව ගෙන යන බව නිවේදනය කළේය.
කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (18) තීරණය කළේ එළැඹෙන 25 වැනිදා සිට ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරිමටය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්