ඊයේ (13) දිනයේ ජනාධිපතිවරයා විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග කරන ලද සාකච්ඡාව කරුණු දෙකක් අනුව වැදගත් බව පෙන්වා දුන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මෙම වරාය විකිණිම ඇමතිවරයාගේ හිතුවක්කාරී තීරණයක් නොවන බවත් එය දේශප්‍රේමිත්වය ගැන කියමින් බලයට පැමිණි ජනාධිපතිවරයාගේම සහ සමස්ත ආණ්ඩුවේම තීරණයක් බවත් හම්බන්තොට වරාය චීනයට ලබාදුන් නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බවත් මෙය පාවාදීමේ මාවතේම ඉදිරියට යෑමට ආණ්ඩුව ගත් පියවරක් බවත් පෙන්වා දුන්නේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඇතැම් කණ්ඩායම් වරාය විකිණීම ඇමතිවරයාගේ තීරණයක් බවත් පී.බී වැනි නිලධාරීන්ගේ වැඩක් බවත් බැසිල්ගේ වැඩක් බවත් ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නිසා බවත් ආදී වශයෙන් විවිධ කරුණු ඉදිරිපත්කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ආරක්ෂා කිරීමට පසුගිය කාලයේ උත්සාහ කළ නමුත් ඊයේ පැවති සාකච්ඡාවේදී මේ සියලු දෙනා එකපෙළට සිටිමින් නැගනෙහිර ජැටියේ 100%ක අයිතිය අහිමි කිරීම වෙනුවෙන් පෙනී සිටීම මගින් ඒ සියලු මිත්‍යා මත හෙළිදරව් වී ඇති බව කියා සිටියේය.
“වරාය දකුණු ජැටිය චීන කොලනියක් වෙලා. දැන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යනවා. විකුණන්නේ නැහැ කිව්වට ඒක ආයෝජනයක් කියලා කිව්වට ඇත්තටම වෙන්නේ නැගෙනහිර ජැටියේ වරායේ අධිකාරියට තිබුණු 100% අයිතිය අහිමිවීමක්. පාවිච්චිකරන වචනය වැඩක් නැහැ. බදු දුන්නද කියන එක නිකන් දුන්නද පරිත්‍යාග කළාද කියලා වැඩක් නැහැ.
දැන් ජනාධිපතිවරයා කියන්නේ හම්බන්තොට චීනයට දීපු නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා තියෙනවා කියලා. මේක කරගෙන යන්න අපිට සල්ලි නැහැ තාක්ෂණය නැහැ කියන්නේ නැහැ. කියන්නේ දෙන්න වෙලා තියෙනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා බලයට ආවේ විකුණපුවත් ආපහු ගන්නවා කියලා. හැබැයි දැන් කියන්නේ ලෝක බලවතුන්ට ඕනෑ නිසා දෙන්න සිද්ධවෙලා තියෙනවා කියලා. ගොඨාබයට චරිත දෙකයි නෙවෙයි දිව දෙකයි කියන්නේ මේ නිසා.” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්