ගෝලීය ආර්ථික අර්බුදය හමුවේත් අපේ අපනයන ආදායම ඉහළ ගිහින්

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ වුවද සමස්ත අපනයන ආදායම 31%කින් වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමත් වූ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2021 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාල පරිච්ඡේදය තුළ සිදු කරන ලද අපනයන සංවර්ධන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ 2020 ජනවාරි සිට මැයි දක්වා පැවති භාණ්ඩ අපනයන ආදායම, 2021 වර්ෂයේ ජනවාරි සිට මැයි දක්වා කාල සීමාව තුළ, 32.6%කින් වර්ධනය කරගත හැකි වූ බවත්, 2020 ජනවාරි සිට මැයි දක්වා කාල සීමාවේ පැවති සේවා අපනයන ආදායම, 2021 මැයි මස වන විට 27.3%කින් වර්ධනය කරගත හැකි වූ බවත් ඒ අනුව මෙරට සමස්ත අපනයන ආදායම 31%කින් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමත් වූ බවයි. 

ඒ අනුව, තවදුරටත් මෙරට අපනයන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ඒ ඒ අංශ වලින් විශේෂඥයින්ගේ දැනුම ද උපයෝගී කරගනිමින් ඉදිරි කාල පරිච්ඡේදයේදී අපනයන සංවර්ධන සැලැස්ම යථාවත් කිරීමට කටයුතු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී. 

ජාත්‍යන්තර වෙළෙඳපොල අවකාශ තවදුරටත් පුළුල් කරගැනීමේ අරමුණින්,කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසුව අපනයන නිෂ්පාදන ගම්මාන ඇති කිරීම සඳහා කටයුතු කරනු ලබන බවත්, ඒ තුළින් ගෝලීය වෙළෙඳපොල සමඟ කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමේ හැකියාව සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් සඳහා ද  ලබා දීමට රජය අවධානය යොමු කරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේය.

එමෙන්ම ගෝලීය වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩල පත්‍රිකාව  ඉදිරිපත් කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මේ සඳහා අත්‍යවශ්‍ය නිර්ණායක හා ශක්‍යතා අධ්‍යයන තුළින් වඩාත් සුදුසු යැයි තීරණය කරන ලද දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම අසල අක්කර 500ක ප්‍රමාණයක මෙම International Commodity exchange hub ඇති කරනු ලබන බව ද ප්‍රකාශ කරන ලදී. 

මෙම වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය ඉදි කෙරෙන තෙක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ මෙම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය පිහිටුවනු ලබන බවත්, වෙනත් රටවල් වලින් ගෙන එනු ලබන විවිධ භාණ්ඩ මෙරට තුළදී සැකසුම් කර, ඒ සඳහා අගයක් එකතු කර ඒවා අනෙකුත් රට වලට අපනයනය කරනු ලැබීම මෙම වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

මෙරට ඇඟළුම් නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට නිෂ්පාදනය කරන රෙදිපිළි ඇඟළුම් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන ඇමෙරිකාව තුළ මේ සඳහා වෙන් වූ විශේෂිත ගබඩා ක්‍රමවේදයක් සකස් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය හා සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්තයේ නියැළෙන පිරිස විසින් කටයුතු කරමින් පවතින බවයි. 

එහිදී මෙරටින් අපනයනය කරනු ලබන ඇඟළුම් හා රෙදිපිළි සඳහා ඇමෙරිකාව තුළ ගබඩා පහසුකම් ලැබීමත්, පිරිවැය අවම කිරීම හේතුවෙන් වඩා ලාභදායීව මෙම ඇඟළුම් අපනයන කටයුතු සිදු කිරීමටත් දේශීය ඇඟළුම් කර්මාන්තකරුවන් සඳහා හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කරන ලදී. 

ඒ අනුව ඉදිරියේදී මෙම භාණ්ඩ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානයක් ඇමෙරිකාව තුළ ඇති කර මාර්ගගත හා විද්‍යුත් වාණිජ්‍යය පදනම් කරගෙන මෙම ඇඟළුම් නිෂ්පාදන අළෙවි කිරී‌මේ ක්‍රමවේදයක් සැකසීම සඳහා විශේෂ අවධානය යොමු කොට ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය. 

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

  • LNW
WP Twitter Auto Publish Powered By : XYZScripts.com