චන්ද්‍රිකා සහ වෙල්ගම නව දේශපාලන ගමනක

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා අද (26) පැවසීය.

එම නව දේශපාලන ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනුශාසකත්වය ලබාදෙන බව හිටපු උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා සඳහන් කළේය.

දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ අද පැවැති 62වන ගුණ සැමරුම් උත්සවයට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා,

“හිටපු මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මන්ත්‍රීවරු ආදී ගොඩාක් දෙනෙක් අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න යන්නේ. නායකත්වය දෙන්නේ මම තමයි. වෙන කවුරුත් නෑ.” 
 
උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා,

“කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් චන්ද්‍රිකා මැතිනියගේ අනුශාසකත්වයෙන් දැවැන්ත ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ප්‍රතිඥා දුන්නා සමාධිය අසලදී. නිදහස් පක්ෂයේ නායකයින්ට අපිට එකතු වෙන්න පුළුවන්, අපේ ප්‍රතිපත්ති සමග එකඟ වෙනවා නම්. අපි එයාලගේ ප්‍රතිපත්තිවලට යන්නේ නැහැ. එයාලා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පැත්තකට දාලා තමන්ගේ වාසියට කටයුතු කරනවා.”

මෙම සැමරුම් උත්සවයේදී කුමාර වෙල්ගම මහතා සමග පැමිණි පිරිස සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග පැමිණි පිරිස හමුවූ අතර එහිදී, “මැඩම් අර කට්ටිය එන්න කලින් අපි යන්නම් නේද.” යනුවෙන් පවසා තිබුණි.

එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සඳහන් කළේ, “ඒ කට්ටිය එන්න කලින් මමත් යනවා” යනුවෙනි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com