චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමු වෙයි. පේරු වේලාවෙන් 16 වැනි දා එරට ලීමා නගරයේ එම හමුව පැවැත්විණ.
ගතවූ වසර 4ක් තුළ, චීන-ඇමරිකානු සබඳතා අසීරුතා මධ්‍යයේ වුවද සංවාද හා සහයෝගිතා පවත්වා සමස්තයක් වශයෙන් ස්ථාවර මට්ටමක පැවති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එම කාලය තුළින් ලබා ගෙන ඇති අත්දැකීම් සමාලෝචනයක් කරමින් හෙතෙම පැවසුවේ ප්‍රථමයෙන් ම නිවැරදි උපායමාර්ගික අවබෝධයක් තිබිය යුතු බවයි. චීනයට එරෙහිව පීඩා එල්ල කිරීම යුක්ති සහගත නොවන අතර ඉන් සාර්ථකත්වයක් අත් කර ගත නොහැකි ය. සිය පොරොන්දු චීනය සෑමවිටම ඉටු කර තිබේ. ඇමරිකාව නිරන්තරයෙන් ම සිය පොරොන්දු නොතකා විරෝධාකල්පයෙන් ක්‍රියා කරන්නේ නම් ඇමරිකාවේ ස්වරූපයටත් දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය විශ්වාසයටත් හානිකර ය. සමානාත්මතාවය මත චීනය හා ඇමරිකාව එකිනෙකාට සැලකිය යුතු බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය. ඕනෑම පාර්ශ්වයකට අත්තනෝමතික ව අනෙක් පාර්ශ්වයට වෙනස්කම් හෝ පීඩා හෝ එල්ල කළ නොහැකි ය. තායිවාන ප්‍රදේශය, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම්, ක්‍රියාමාර්ග හා ක්‍රමවේදය, සංවර්ධන අයිතිවාසිකම් යනාදිය චීනයේ කේන්ද්‍රීය කරුණයි. ඒවා අභියෝගයට ලක් නොවිය යුතු ය. එසේ ම, සංවාද හා සහයෝගිතා පුළුල් කළ යුතු බව පැවසූ ෂී ජින්පිං මහතා චීන-ඇමරිකා සබඳතා දෙරට ජනතාවගේ අභිලාෂයන්ට අනුගත විය යුතු අතර විශාල රටවල් ලෙස චීනය හා ඇමරිකාව සිය වගකීම් හා යුතුකම් සාක්ෂාත් කළ යුතු බව ද සඳහන් කළේය.
චීනය හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගතවූ වසර 45හේ අත්දැකීම් මගින් පිළිබිඹු කෙරෙන්නේ දෙරට හවුල්කරුවන් ලෙස සමානකම් හඳුනා ගෙන වෙනස්කම් පැවතියද දෙරට සබඳතාව දිගුකාලීන ලෙස වර්ධනය කළ හැකි බවයි. එහෙත්, අනෙක් පාර්ශ්වය සතුරෙකු ලෙසට සලකන්නේ නම් දෙරට සබඳතාවට දුෂ්කරතා එල්ල වන අතර පසුබෑමට පවා ලක් විය හැකි ය.
වර්තමාන ලෝකය කැලඹිලි තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් පෙර නොවූ විරූ අභියෝගයන්වලට මානව වර්ගයා මුහුණ දෙමින් සිටින බවත් ෂී ජින්පිං මහතා කියා සිටියේය. විශාල රටවල් තරගකාරීත්වය මත නොසිටිය යුතු අතර, සාමූහිකව සහයෝගිතා පැවැත්වීමෙන් අසීරුතාවන් පරාජයට පත් කළ හැකි ය. ලෝකයේ විශාල රටවල් දෙකක් ලෙසට, චීනය හා ඇමරිකාව කැලඹිලි සහිත ලෝකය වෙත වැඩි ස්ථිර සාධකයන් හා සාධනීය ශක්තියක් ලබා දිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
එසේ ම, චීන-ඇමරිකා සබඳතාවේ ස්ථාවර, සෞඛ්‍ය සම්පන්න සහ තිරසර සංවර්ධනයක් සඳහා කැපවීමේ චීනයේ ඉලක්කය වෙනස් වී නොමැති බව ෂී ජින්පිං මහතා කීය. එමෙන්ම අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවයට අනුකූලව චීන-ඇමරිකා සබඳතාව හැසිරවීමේ මූලධර්ම වෙනස් වී නොමැත. තම ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කිරීමේ ස්ථාවරය මෙන්ම ජනතාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුව වෙනස් වී නොමැති බව ද ඔහු පැවසීය. ඇමරිකා රජය සමඟ අඛණ්ඩව සංවාද පවත්වමින් සහයෝගීතාව පුළුල් කරන අතර, මතභේද පාලනය කිරීමටත්, චීන-ඇමරිකා සබඳතාවේ සුමට පැවැත්මක් ළඟා කර ගැනීමටත් දෙරටේ ජනතාවට වඩා වැඩි ප්රතිලාභ ලබා දීමට උත්සාහ කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජන්පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා එහිදී පැවසුවේ ‘නව සීතල යුද්ධය’ තම රට දියත් නොකරන අතර චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට මැදිහත් නොවන බවයි. සන්ධාන සබඳතාව තහවුරු කිරීමෙන් චීනයට විරුද්ධ වීමක් සිදු නොකරන බවත් ‘තායිවාන ස්වාධීනත්වය’ට සහාය නොදක්වන බවත් චීනය සමග ගැටුම් ඇතිකර නොගන්නා බවත් හෙතෙම කීය. එමෙන් ම, තායිවාන ප්රශ්නය භාවිතයට යොදා ගෙන චීනය හා තරග නොවදින බව ද ජෝ බයිඩන් මහතා එහිදී කියා සිටියේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි