චීන ජනපති රුසියානු ජනපති සමඟ වීඩියෝ ආකාරයෙන් සාකච්ඡාවක් පවත්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මහතා අතර වීඩියෝ ආකාරයෙන් හමුවක් සිදුව ඇත. එම හමුව ඊයේ(21) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදු විය.

එහිදී නව වසර වෙනුවෙන් දෙරටේ නායකයින් එකිනෙකා වෙත සුබ පැතුම් ද පිරිනැමීය.

නව වසරේ චීන-රුසියානු සබඳතා වඩාත් මනා වර්ධනයක් ලබා ගැනීමට ප්‍රාර්ථනා කරන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.

එමෙන්ම ලබන්නා වූ චීන වසන්ත උත්සවය සඳහා පූටින් මහතා එහිදී ජනාධිපති ෂී ජින් පිං මහත හා චීන ජනතාව වෙත ද සුබ පැතුම් පිරිනැමීය.

ගෙවී ගිය 2024 වසරේ චීන-රුසියා සබඳතා අඛණ්ඩව නව වර්ධන ප්‍රවණතාවක පවතින අතර සංස්කෘතිය හා වෙළඳාම යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ජයග්‍රහණ රැසක් අත්පත් කර ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් යාන්ත්‍රණය යනාදී බහුපාර්ශ්වික වේදිකාවන් හි දී දෙරට සමීපව සහයෝගිතා පවත්වා ගෙන ඇති අතර ගෝලීය පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණයට ද ධනාත්මක ශක්තියක් ලබා දී තිබේ.

එමෙන්ම නව වසරේ දෙරටේ සංවර්ධනය හා පුනර්ජීවනය ප්‍රවර්ධනය කොට ජාත්‍යන්තර සාධාරණය හා යුක්තිය ආරක්ෂා කිරීම සඳහා පූටින් ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට තමා සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

රුසියාව හා චීනය සැමවිටම අන්‍යෝන්‍ය ලෙස විශ්වාස කරමින්, සහාය දෙමින් සමානාත්වයෙන් සලකන බව ව්ලැදිමීර් පූටින් මහතා මෙහිදී පැවසීය. දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට අනුකූල වන අතර ජාත්‍යන්තර තත්ත්වයේ සිදුවන වෙනස්කම් එයට කිසිවිටෙකත් බලපාන්නේ නැත. තවද බහුපාර්ශ්වික අවස්ථාවන්හිදී දෙපාර්ශ්වය සමීප සන්නිවේදනයක් සහ සහයෝගීතාවයක් පවත්වා ගන්නා බවත් පූටින් මහතා පෙන්වා දුන්නේය.

තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව රුසියාව තරයේ අනුමත කරන අතර ඕනෑම ආකාරයක “තායිවාන ස්වාධීනත්වයට” දැඩි ලෙස විරුද්ධ වන බව පූටින් මහතා අවධාරණය කළේය. එමෙන්ම ෆැසිස්ට්වාද විරෝධී යුද්ධය ජයගැනීමේ 80වැනි සංවත්සරය උත්කර්ෂවත්ව සැමරීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමට මෙම වසරේ දී සූදානම් බව ද පූටින් මහතා සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com