චීන මාදිලියේ නවීකරණයේදී යුන්නාන් පළාතේ නව සංවර්ධන තත්ත්වයක් නිර්මාණය කළ යුතු බව චීන ජනපති කියයි

චීන මාදිලියේ නවීකරණයේදී යුන්නාන් පළාතේ නව සංවර්ධන තත්ත්වයක් නිර්මාණය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ අද(20) යුන්නාන් පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

යුන්නාන් පළාත, බටහිර කලාපයේ සංවර්ධනය සහ යැංසි ගංගාශ්‍රිත ප්‍රදේශයේ ආර්ථික තීරය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් සම්පාදනය කරන ලද ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නව සංවර්ධන සංකල්පය අංගසම්පූර්ණ ලෙස නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බව ඔහු කීය. එසේම උසස් තත්ත්වයේ සංවර්ධනයක් ප්‍රවර්ධනය කරමින් චීන මාදිලියේ නවීකරණ ක්‍රියාවලියේදී යුන්නාන් පළාතේ සංවර්ධනයේ නව තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

19, 20 දෙදින තුළ, ෂී ජින්පිං ජනාධිපතිවරයා යුන්නාන් පළාතේ Lijiang හා Kunming යන නගර නිරීක්ෂණය කළේය. අද(20) පෙරවරුවේ, ඔහු යුන්නාන් පළාතේ පක්ෂ කමිටුවේ සහ පළාත් රජය ඉදිරිපත් කළ කාර්ය වාර්තාවලට සවන් දුන්නේය. යුන්නාන් පළාතේ සෑම අංශයකින්ම ලද ජයග්‍රහණ අගය කළ ඔහු, ඉදිරි වැඩ කටයුතු සඳහා උපදෙස් ලබා දී තිබේ.

යුන්නාන් පළාත, විද්‍යා හා තාක්‍ෂණික නවෝත්පාදනයෙන්, සිය සම්පත් මත පදනම් වූ කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කරමින් උපායමාර්ගික වැදගත්කමෙන් යුතු නැගී එන කර්මාන්ත සහ අනාගත කර්මාන්ත ක්‍රියාකාරීව සංවර්ධනය කළ යුතු බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

සුවිශේෂී භූගෝලීය තත්ත්වයක පිහිටි යුන්නාන් පළාත, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව සඳහා ඉහළ මට්ටමේ විවෘතකිරීමේ මධ්‍යස්ථානයක් සේ ගොඩනැගිය යුතු ය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ පොදු සංවර්ධනය සඳහා ප්‍රවේශ සලසා දීමට, අසල්වැසි රටවල් සමඟ ආර්ථික, විද්‍යා තාක්‍ෂණ, මානව සම්පත්, වෛද්‍ය සේවා, සංස්කෘතිය යන ක්ෂේත්‍රවල අදහස් හුවමාරු පුළුල් කිරීම ද සිදු කළ යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

යුන්නාන් පළාත රට තුළ වැදගත් පාරිසරික ස්ථානයක පසු වේ. රටේ නිරිතදිග ප්‍රදේශයේ ජෛව ආරක්ෂණ තීරය ශක්තිමත් කිරීමට, පාරිසරික ප්‍රමුඛතාවයේ සහ හරිත සංවර්ධන මාවත නොසැලී අනුගමනය කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේය. 

එමෙන්ම යුන්නාන් හි ජනවර්ග රාශියක් සිටින අතර, දේශසීමා ප්‍රදේශවල සුළු ජනවාර්ගික කණ්ඩායම්වල වාසස්ථාන පාලනයට අවධානය යොමු කළ යුතුය. විවිධ ජනවාර්ගිකයින් අතර සමගිය සහ දේශසීමා ප්‍රදේශයන්හි ස්ථාවරත්වය ඵලදායී ලෙස පවත්වාගෙන යාම සඳහා, දේශසීමා ප්‍රදේශ පුනර්ජීවනය කරමින් ජනතාවගේ ආදායම වැඩි කිරීම පිළිබඳ නව යුගයේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසීය.

අද පෙරවරුවේ ෂී ජින්පිං ජනාධිපතිවරයා Kunming හි හමුදා කර්නල් මට්ටමට වඩා ඉහල නිලධාරීන්, බිම් මට්ටමේ ප්‍රමුඛ භටයින් සහ යුධ හමුදාවේ සිවිල් පුද්ගලයන්ගේ නියෝජිතයන් හමු විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන් ඔහු Kunming හි හමුදාවේ සමස්ත නිලධාරීන් හා භටයින්ට සුබ පැතුම් පිරිනැමීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com