ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්

2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බවත් එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

මෙම කැපීපෙනෙන වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ කර්මාන්තවල ඔරොත්තුදීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරගකාරිත්වය පිළිබිඹු කිරීමත් තිරසර ආර්ථික වර්ධනයකට මාවත විවර වීමත් සිදුවන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තා තව දුරටත් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා රේගුව නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,004.82 ක් වන අතර එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 3.51%ක වර්ධනයක්.

කෘෂිකාර්මික අපනයන 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 14.87% වර්ධනයක් වන අතර එය 2025 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 258.93 දක්වා ළඟා වී තිබෙනවා.

කාර්මික අපනයන ජනවාරි මාසය තුළදී 0.08%ක වර්ධනයක් වන අතර එය ඩොලර් මිලියන 745.89ක්.

එසේම 2025 ජනවාරි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 329.37ක් වන අතර 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 37.87%ක වර්ධනයක් බවත් එම මණ්ඩලය පෙන්වා දුන්නා.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 ජනවාරි සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුලුව සමස්ත අපනයන , අමෙරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙස සටහන් ව තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com