ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ඇති ගැටළු පිළිබඳව විධිමත් සාකච්ඡාවක්, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ ධීවර සමිති නියෝජිතයන් පිරිසක් අද(12) මීගමුවේදී පැවැත්විණ. රටේ මුහුද සහිත කලාපයේ නීල ආර්ථිකයක් පිළිබඳව සිටින පළමු පෙලේ විශේෂඥයෙක් වන අයේෂ් රණවක මහතා විසින් සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාවට හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්මියද සහභාගී විය.
මෙම සාකච්ඡාවේදී ධීවරයිගේ ප්‍රධාන ගැටළු අතරට එක්වූයේ, විවිධ තාක්ෂණික උපක්‍රම මඟින් සිදුකරන මත්ස්‍ය සම්පත අල්ලා ගැනීමේ ක්‍රියාවලිය විසින් කුඩා මසුන් සහ මත්ස්‍ය පැටව් විනාශවීම නිසා ධීවර සම්පත විශාල වශයෙන් වඳවී යෑමේ තර්ජනයකට මුහුණ දී ඇති බවයි. එමෙන්ම ඉන්දියාව හා වෙනත් රටවල ධීවරයින් විසින් සිදුකරන ලද බොටම් ට්‍රෝලින් නිසා විශාල වශයෙන් වයඹ කලාපයේ ධීවර සම්පත විනාශවී ගොස් ඇති බවට ද එහිදී වාර්තා විය.
ශ්‍රී ලංකාව තවමත් මත්ස්‍ය සම්පත මඟින් ස්වයං පෝෂිත නොවූ රටකි. තවමත් අපි ටොන් 80,000 ක් පමණ විදේශවලින් ආනයනය කරන බව සාකච්ඡාවලදී හෙළිදරව් වූ අතර රට තුළ නිෂ්පාදනය ටොන් 400,000 පවතී. රට තුළ ධීවර කර්මාන්තයේ පවුල් 175,000 ක් පමණ සිටිනා බවද සෘජු හෝ වක්‍රව එයින් යැපෙනා පිරිස මිලියන 2 ඉක්මවන බව ද වාර්තා විය.
එමෙන්ම පැන නැඟුණ තවත් කරුණක් වූයේ, යුරෝපා සංගමයට මාළු අපනයනයේදී යාත්‍රාවල සවිකළ යුතු තාක්ෂණික උපකරණ (VMS) ධීවර අමාත්‍යාංශය විසින් ලබා නොදීමත්, ලබාදුන් උපකරණ දැන් ක්‍රියාවිරහිත වීමත් නිසා ඇතිවී ඇති ප්‍රශ්නයයි. එමෙන්ම යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළෙඳාමට යම් තහංචියක් පැනවීමට ඉඩක් ඇති බවක් ද ධීවර අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තා වූ බව ධීවර සමිති සාමාජිකයන් විසින් ප්‍රකාශ කරන ලදි.
විශේෂයෙන්ම ටූනා මත්සයා පිළිබඳව (IOTC ආයතනයෙන්) ශ්‍රී ලංකාවට ලැබී ඇති කෝටාව ඉතාම අඩු අගයක් බවත් (ටොන් 5000 ක් පමණ) එම නිසා මෙම කලාපයේ අනෙක් රටවල් වලට මලදිවයින, සීෂෙල්ස් වැනි රටවලට විශාල කෝටාවක් ලැබීම නිසා එම ව්‍යාපාරය ද යම් ආකාරයකට පසුබෑමකට ලක්වී ඇති බව ප්‍රකාශ විය. තවද, බහුදින ධීවර යාත්‍රා සහ අනෙකුත් යාත්‍රා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වුවද එන්ජින් හා උපාංග ගෙන්වා ගැනීමේදී මෙන්ම දැල් හා අනෙකුත් ආම්පන්න ගෙන්වීමේදී ද රටේ ඇති ආනයන තහංචිය බරපතල ලෙස ධීවර කර්මාන්තය අඩපණ වීමට බලපා තිබෙන බවද සාකච්ඡාවට ලක්විය.
එමෙන්ම වාර්තා වූ තවත් බරපතල කරුණක් වූයේ, පුද්ගලික සමාගමක් විසින් (ඇවන්ගාඩ්) ශ්‍රී ලංකාවේ ධීවර සම්පත තනි අධිකාරියකට ගැනීමේ සැලසුමක් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය හරහා ක්‍රියාත්මක කරමින් තිබෙන බවයි. ඒ අනුව ප්‍රධාන නැව් 40 ක් මඟින් ධීවර යාත්‍රා 4,000 ක පමණ මත්ස්‍ය සම්පත් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා විය. මේ නිසා ධීවර සංස්ථාව සහ ඊට අනුබද්ධ ආයතන සියල්ලම පාහේ අකර්මන්‍ය වීමේ අනතුරක් ඇතිවන අතර තනි පුද්ගලයෙකුට මේ ධීවර ක්ෂේත්‍රය පාලනය කිරීමේ අයිතිය ලැබීමට යන බව ද ප්‍රකාශ විය.
මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව කිව යුත්තේ දැනට ගොවිබිම්වල අයිතියද ඇවන්ගාඩ් වැනි සමාගම් වලට අක්කර දහස් ගණනින් ලබාදීම නිසා ගොවියන් ගොවි කම්කරුවන් බවට පත්වෙමින් තිබෙන අතර ධීවරයින්ද ධීවර කම්කරුවන් බවට පත්කිරීමේ මෙහෙයුමක් රාජපක්ෂවරු දියත්කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සංවාදයෙන් වැටහුණ කාරණය වන්නේ මත්ස්‍ය සම්පත ශ්‍රී ලංකාව වටා පවතින නමුදු ශ්‍රී ලංකාව තවමත් මාළු ආනයනය කරනවාය කියන සටන් පාඨය එතරම් නිවැරදි නොවන බවය. මන් ද අපේ තාක්ෂණ ක්‍රියාවලිය විසින් අපේ මත්ස්‍ය සම්පත බොහෝ දුරට මේවන විට විනාශ කර තිබීම නිසාය. මේ නිසා යම් ආකාරයක නවීන තිරසර තාක්ෂණ ප්‍රවේශයක් ධීවර කර්මාන්තයට අවශ්‍යව තිබේ. එමගින් කුඩා මත්ස්‍යයින් සහ මත්ස්‍ය සම්පත වර්ධනය කර ගැනීමට හැකියාව ඇති මත්ස්‍යයින් ආදීන් ද රැක ගනිමින් මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමට ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ.
නැවත වතාවක් නව ඉස්සන් විශේෂයක් (වනමේ) භාවිතා කිරීමෙන් ඉස්සන් වගාව ප්‍රචලිත වන බව ඇසීම සතුටට කරුණක් විය. කලින් ඉස්සන් වර්ගය ඇතිවූ රෝගයක් නිසා වඳවී ගිය අතර බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය. මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවී තිරසරව එම ගොවිතැන සිදුකිරීම වැදගත් බව සියලුදෙනාගේ එකඟතාවය විය.
ඉදිරියේදී, විශේෂයෙන්ම බස්නාහිර පළාත හා දකුණු පළාතේ මතුවෙමින් පවතින ප්‍රශ්නයක් වන්නේ මිරිදිය මත්ස්‍ය වගාවට මෙන්ම මුහුද ආසන්නයේ කරදියේ කුඩා බෝට්ටු මඟින් කරන සංචාරක ව්‍යාපාරයෙන් එල්ලවී ඇති අභියෝගයයි. වෝටර් ජෙට් ආදිය භාවිත කිරීම නිසා පානදුර ආදී ප්‍රදේශවල මිරිදිය මත්ස්‍ය ක්‍රියාවලිය හා කලපු ආශ්‍රිත ධීවර ක්‍රියාවලිය මුළුමනින් අඩපණ වී ඇති බව ප්‍රකාශ විය. මේ නිසා සංචාරක ව්‍යාපාරය හා ධීවර කර්මාන්තය කලාපකරණයකට යටත් කිරීම අත්‍යාවශ්‍ය බව සියළුදෙනාගේම අදහස විය.
එක් පැත්තකින් ප්‍රෝටීන් බහුල ආහාරයක් වන මත්ස්‍ය ආහාරය ශ්‍රී ලංකාවේ වැසියන්ට දරාගත හැකි මිළකට ලබාදීමත්, ධීවර ජනතාව සිය කර්මාන්තය මඟින් ශක්තිමත් ආකාරයකට ආර්ථික වශයෙන් ගොඩනැංවීමත්, එමෙන්ම මත්ස්‍ය අපනයනයට ගමන්කොට විදේශ ඉපයීමට (දැනට ඩොලර් මිලියන 300 ක පමණ තිබෙන) ගමන් කිරීමත් අත්‍යාවශ්‍ය වේ.
මෙහිදී, ගෝලීය උණුසුම ඉහළයෑම නිසා සාගර උණුසුම වැඩිවීම, සාගර ජීවීන් වඳවීයාම, මුහුදු ඛාදනය හා පහත්බිම් මුහුදට යටවීම ඉදිරි කාලයේදී දිගුකාලීන අභියෝග ලෙස හඳුනා ගැනිණ.
ඉදිරියේදී වෙනත් සාගර සම්පත් භාවිතයෙන් රටේ ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කිරීම, 43 වන සේනාංකය විශේෂඥයින් සමඟ ඉදිරි කාලයේදී කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ අයේෂ් රණවක මහතා ප්‍රකාශ කර සිටියේය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ