නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඇතුළු වටරවුම් මාර්ගයේ ඉදි කිරීම් සිදුකරන ජපන් සමාගමකට අයත් ගබඩාවක් බිඳ , රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තිදෙනා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි තිදෙනකු බව පොලීසිය කියයි.
නව කැළණි පාලම හා පිට රවුම් මාර්ගයේ ඉදිකිරීම් සඳහා ජපානයෙන් රැගෙන ආ භාණ්ඩ තොගයක් ගබඩා කර තිබූ ගබඩාවක් ඉකුත් 08 දා රාත්‍රී කඩා ඒ තුළ තිබූ උපකරණ තොගයක් මෙසේ සොරාගෙන ගොස් තිබුණි.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය සී.සී.ටී.වී.දර්ශන අනුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු හඳුනා ගෙන ඔහුගෙන් ලද තොරතුරකට අනුව තවත් දෙදෙනකු පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පැවසේ.
පසුව ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව පෑලියගොඩ ප්‍රදේශයේ කාර්මික උපකරණ කුලියට දෙන වෙළඳසැලක් පරික්ෂා කිරීමේදී එහි තිබී, මහපරිමාණ යකඩ ඇණ සවි කරන යන්ත්‍ර , ජෙනරේටර්, ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ .
මෙම උපකරණ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසුව නැවත ජපානයට ගෙන යාමට නියමිතව තිබූ භාණ්ඩ බවද පැවසේ .
එහි වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවත් සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය කියයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්