ජාතික මහා ක්‍රීඩා උලෙළේ පාපැදි ජය දකුණේ තරිඳු සඳරුවන්ට

හතළිස් හය වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ පාපැදි තරගාවලිය ජය ගැනීමට දකුණු පළාත නියෝජනය කළ එච්.ආර්. තරිඳු සඳරුවන් සමත් විය. කතරගම බස් නැවතුම් පළ ඉදිරිපිටින් ඊයේ උදෑසන ආරම්භ වූ මේ තරගයට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩකයන් 186 දෙනකු එක්වී සිටි අතර, කිලෝමීටර් 158ක දුර ප්‍රමාණයකින් සමන්විත තරගය පැය 3කුත්, මිනිත්තු 40ක් සහ තත්පර 34කින් නිමා කළ තරිඳු සඳරුවන් කුසලානය සමඟ මුදලින් රුපියල් පනස් දහසක ත්‍යාගය දිනා ගත්තේය.

තරගයේ අනු ශූරතාව බස්නාහිර පළාත නියෝජනය කළ කේ.ආර්.කේ. ආර්.සුරංග රණවීර දිනා ගත් අතර, තරගය නිමා කිරීමට ඔහුට ගත වූ කාලය පැය 3කුත්, මිනිත්තු 40ක් සහ තත්පර 35කි. බස්නාහිර පළාත නියෝජනය කළ තුෂාන් රාජපක්ෂ පැය 3කුත්, මිනිත්තු 40ක් සහ තත්පර 42කින් තරගය නිමා කරමින් තුන්වැනි ස්ථානයට පත් විය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන ජාතික මහා ක්‍රීඩා උලෙළේ පාපැදි තරගයේ සමාරම්භය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කුමාරසිරි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ දී පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් රොනී ඊබ්‍රාහිම්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අනිල් රංග, කතරගම පොලිස් ස්ථානාධිපති ලියනගමගේ, නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති බන්දුල එගොඩගේ, නෙස්ලේ ලංකා සමාගමේ කිරි ආහාර නිෂ්පාදන අංශයේ උප සභාපති රුවන් වැලිකල මහත්වරු ද එක්ව සිටියහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com