කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ මාර්ගෝපදේශ සහමුලින්ම අමතක වූ ප්රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය සූරියවැව ක්‍රීඩාංගණයේ පන්දුවාර 40කදී ලකුණු 379ක් වාර්තා වූ ‘පිතිකරුවන්ගේ අවසන් මහා තරගයක්’ අවසානයේ පිට පිට දෙවැනි වරටත් ශූරයන් බවට පත් වීමට ජැෆ්නා කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත් විය.
තරගාවලියේ පෙර දෙපිල මුණගැසුණ අවස්ථා තුනේදීම ජය වාර්තාකර සිටි ගෝල් කණ්ඩායමට අවසන් මහා තරගයක පීඩනය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ අයුරක් තුන් ඉරියව්වෙන්ම පෙනෙන්නට විය. එහි ප්‍රතිඵලය ලෙසින් ජැෆ්නා කණ්ඩායම විසින් ලබාදුන් ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 23ක් පසුපසින් පිට පිට දෙවැනි වරටත් අනුශූරතාවයෙන් සැනසෙන්නට ගෝල් පිලට සිදුවිණි.
කොවිඩ් වැළැක්වීමේ මාර්ගෝපදේශවලට අනුව මෙම තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට අවසර ලැබෙනුයේ ප්රේක්ෂකාගාර ධාරිතාවයෙන් හරි අඩකට පමණක් බව කියැවුණත් සමස්ත සූරියවැව නගරයම ඊයේ (23 වැනිදා) පස්වරුව වන විට කඩිගුලක් බවට පත්ව තරගය ඇරඹෙද්දී ප්රේක්ෂකාගාර පිරී ඉතිරී ගොස් තිබිණි.
පිතිකරුවන්ට අතිශයින් යෝග්‍ය තණතීරුවක සහ පළමුවෙන් පන්දුව පහරදෙන කණ්ඩායමට වැඩි වාසිසහගත බවක් මෙතෙක් දිස් වූ සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ගත් තීරණය අරුමයක් නොවූ නමුත් ලකුණු 202ක ඉලක්කයක් හඹා යමින් පන්දුවාර 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 59ක් ලබා සිටි ගෝල් කණ්ඩායම පන්දුවාර 20කදී ලකුණු 178කට සීමා වී අරුමයක් විය.
ආරම්භයේ පටන් ජැෆ්නා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත අයුරින් පහර එල්ල කළ ධනුෂ්ක ගුණතිලක ගෝල් මුළු ලකුණු සංඛ්‍යාව 59ක් වන විට පන්දු 19කදී සිය අර්ධ ශතකය සම්පූර්ණකර ගත්තේය.
එකී අර්ධ ශතකයට පිවිසීමේදී ලකුණු 42ක්ම හයේ සහ හතරේ පහර මගින් ධනුෂ්ක රැස්කරගෙන තිබීම කැපී පෙනෙන කාරණයක් විය. කෙසේ නමුත් ජැෆ්නා පන්දු යවන්නන් දැවැන්ත ප්‍රහාරයකට ලක්ව සිටියදී නායක තිසර පෙරේරා කණ්ඩායමේ හොඳම තුරුම්පුව වන වනිඳු හසරංග වෙත පස්වැනි පන්දුවාර භාර කෙරිණි.
නායකයාගේ විශ්වාසය එලෙසින්ම රැකි වනිඳු තමා යොමු කළ දෙවැනි පන්දුවෙන්ව ඒ මොහොතේ කරදරකාරී ප්රහාරයක නිරතව සිටි ධනුෂ්ක ගුණතිලකව ලකුණු 54ට දවා ගත්තේය. එක්සට්‍රා කවර්හි සිට තිසර පෙරේරා විසින් රැකගත් උඩ පන්දුවත් සමගින් ගුණතිලකගේ ඉනිම නිමා විය. ඒ වන විට පන්දු 21කට මුහුණ දී සිටි ඔහු සිය ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එක්කොට තිබුණි.
ඉන් නොනැවතුණු වනිඳු තවදුරටත් ගෝල් දෙසට පීඩනය යොමු කරමින් අදාළ පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී බෙන් ඩන්ක්ව ආපයින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.
ඉන් අනතුරුව ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විසින් හුදෙකලා සටනක නිරත වුවද, අනපේක්ෂිත දුවද්දී දැවීයාමකට හසු වීමත් සමගින් ගෝල් බලාපොරොත්තු සුන් විය. පන්දු 28ට මුහුණ දී සිටි මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 39ක් රැස්කරගෙන සිටියේය. එකී ලකුණු ඇතුළුව මුළු ලකුණු 327ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වීමේ අවස්ථාව කුසල් මෙන්ඩිස්ට උදා විය.
ධනුෂ්ක සහ මෙන්ඩිස් හැරුණු විට ගෝල් වෙනුවෙන් ලකුණු 20 සීමාව පසුකළ හැකි වූයේ සමිත් පටෙල්ට (22) පමණි. තරගාවලිය පුරා කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ විසින් යොමුකළ පන්දුවාර 4ට ගෝල් පිතිකරුවන් විසින් ලකුණු 51ක් රැස්කරගෙන තිබීම කැපී පෙනෙන කාරණයක් විය. වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ. ජැෆ්නා කිංග්ස් ලකුණු 200 කරා රැගෙන යාමේදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි ටොම් කොලර් කැඩ්මෝර් පන්දු 41කදී ලකුණු 57ක් සහ නායක තිසර පෙරේරා පන්දු 9කදී ලකුණු 17ක් රැස්කරගෙන සිටියේය. කැඩ්මෝර්ගේ ඉනිමට හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් අන්තර්ගත වූ අතර අදාළ දෙවැනි හයේ පහරත් සමගින් මෙවර තරගවාරයේ වැඩිම හයේ පහර රැස්කර පිතිකරුවා වූයේද ඔහුය. ඔහු මේ වන විට වාර්තා කර තිබෙන මුළු හයේ පහර සංඛ්‍යාව 20කි.
කාසියේ වාසිය දිනාගෙන ජැෆ්නා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට ගත් තීරණයට සාධාරණයක් ඉටුකරමින් අවිශ්ක ප්‍රනාන්දු සහ රහමනුල්ලා ගුර්බාස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32කදී ලකුණු 56ක සබඳතාවයක් පිහිටුවීය.
ප්‍රහාරක වේගය 200කට ආසන්න අගයක රඳවා ගනිමින් පන්දු 18කදී ලකුණු 35ක් රැස්කරගෙන සිටි රහමනුල්ලා ගුර්බාස් ජැෆ්නා පළමු කඩුල්ල වශයෙන් පිටියෙන් ඉවත් විය. ඒ වන විටත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට මහීෂ් තීක්ෂණ හා සම තැනට පත්ව සිටි සමිත් පටෙල්ගේ (කඩුලු 16) පන්දුවක් හමුවේ ලෝන්ග් ඕන්හි සිට කුසල් මෙන්ඩිස්ට උඩ පන්දුවක් ලබා දෙමින් ගුර්බාස් පිටියෙන් ඉවත්වන විට සිය ඉනිමට හයේ සහ හතරේ පහර 3 බැගින් එල්ලකර තිබුණි. දඹුල්ල ජයන්ට්ස් සමග සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී මෙවර තරගාවලියේ පළමු ශතකකය හිමිකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දු සිය සුපුරුදු පිති ප්‍රහාරයේ නිරත වෙමින් පන්දු 31කදී අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය. 13 වැනි පන්දුවාරයේ නුවන් තුෂාර විසින් වේගය අඩාළ කර එවූ පන්දුවට එල්ල කළ පහර ධනුෂ්ක ගුණතිලක උඩ පන්දුවක් ලෙසින් රැක ගැනීමත් සමගින් අවිශ්කගේ ඉනිම නිමා විය. ඒ වන විට පන්දු 41කට මුහුණ දී සිටි අවිශ්ක සිය ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබුණි.
අදාළ දක්ෂතාවය හේතුවෙන් තරගයේ වීරයා සම්මානයට හිමිකම් කී අවිශ්ක තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ලකුණු 119කදී කඩුලු 02ක් දැවී පවතින මොහොතක ලකුණු ලබා ගැනීමේ වේගය තවදුරටත් වැඩි කළ ටොම් කොලර් කැඩ්මෝර් සහ ශොයිබ් මලික් තෙවැනි කඩුල්ලට පන්දු 34කදී ලකුණු ලකුණු 62ක සබඳතාවයක් පිහිටුවීය. එම සබඳතාවයට කැඩ්මෝර් පන්දු 23කදී ලකුණු 36කින් සහ මලික් පන්දු 11කදී ලකුණු 23කින් දායක විය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්