පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් පිරිසක් නිදහස් කිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරයට අදාලව සිදුවන විමර්ශන පිළිබඳව කතෝලික ජනතාවට දැඩි කුකුසක් ඇති වී තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය හේතුවෙන්, කතෝලික ප්‍රජාවට මුහුණදීමට ද නොහැකි තත්වයකට තමන් පත්ව සිටින බවයි කාදිනල්වරයා පෙන්වා දෙන්නේ.
කොළඹ අගරදගුරු නිළ නිවස වෙත ඊයේ (20) පැමිණි මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අමතමින් මේ බව පවසා තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට අදාල එක් මරාගෙන මැරෙන බොම්බකරුවෙකු වූ මොහමඩ් ඊබ්‍රාහිම් ඉන්ෆාස් නමැත්තාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලවක සේවකයන් පිරිසක් නිදහස් කිරීමට පසුගියදා අධිකරණය නියෝග කළේය. පාස්කු ප්‍රහාරයට යොදාගත් බෝම්බ නිර්මාණය කර තිබුණේ අදාල කර්මාන්ත ශාලාවේ බව පොලීසිය මීට පෙර පවසා තිබිණි.
නීතිපතිවරයා අධිකරණය වෙත දැනුම් දී තිබුණේ මෙම පුද්ගලයන් 10 දෙනාට එරෙහිව තවදුරටත් නීති මගිනි කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි. ඒ අනුව අදාල නඩුව අවසන් කර සැකකරුවන් මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
මෙම සැකකරුවන් නිදහස් කිරීමත් සමගම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ තම ඥාතීන්ට සාධාරණය ඉටු නොවනු ඇතැයි කතෝලික භක්තිකයන්ට විශ්වාස කිරීමට සිදුව ඇති බවයි කොළඹ අගරදගුරුවරයා පවසන්නේ. ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ අදාල විමර්ශන නිසි පරිදි සිදුවන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව අන්තවාදීන් සමග සබඳකම් පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන සාක්ෂි නොමැතිව මුදාහරින්නන් සමාජගත කිරීමට පෙර නිසි අධීක්ෂණයකින් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසද කාදිනල්වරයා ඉල්ලා තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ