දරුවන් සමාජයට රැගෙන යාමෙන් වළකින ලෙස අනතුරු අඟවයි
දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.
කොවිඩ් -19 ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බව අද (07) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේය.
දරුවන් මේ දිනවල සමාජයට රැගෙන නොයන ලෙස දෙමව්පියන්ට දැනුම්දෙන වෛද්‍යවරයා ප්‍රකාශ කළේ දෙමව්පියන් අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන රෝගී දරුවන් සම්බන්ධයෙන් සායනික කටයුතුවලට සහභාගි විය යුතු බවය.
මේ අතර අවුරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් රෝග ලක්ෂණ නොමැති නම් නිවසේ දීම රැකබලාගත යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
“අපි අවුරුදු 2කට අඩු ළමයින්ව රෝහලට ඇතුළත් කර ගන්නවා. නමුත් ඉස්සරහට රෝග ලක්ෂණ නැති වුණොත් දෙමාපියන්ට රෝගය තිබුණත් මව්කිරි ලබාදීම දිගටම ලබාදිය යුතුයි. දෙමාපියන් බය වෙනවා උණ තියෙන දරුවන්ට ෆිට් එක හැදෙයි කියලා. එහෙම බය වෙලා පැරසිටිමෝල් අනවශ්‍ය විදියට ලබාදෙන්න සුදානම් වෙනවා. ඒ වගේ දේවල් හොඳ නෑ. කිලෝ ග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 15ක් වන සේ දවසට උපරිම විදියට 4 සැරයක් පමණක් ලබාදිය යුතුයි. එයට වැඩිය පැරසිටිමෝල් ලබාදුන්නොත් අක්මාවට හානිවෙන්න පුළුවන්. ගෙදර දී දරුවා බලාගන්නා වෙලාවේ දී දරුවන්ට ආරක්ෂාව, විවේකය හා පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදිය යුතුයි.”
දරුවන්ට වැළදෙන උණ සහ වලිප්පුව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.
“උණයි වලිප්පුවයි කියන එක ළමයින්ගේ රෝගයක්. එයින් දරුවන්ගේ මොළයට හානියක් සිදුවන්නේ නෑ. නමුත් උණ නැතුව වලිප්පුව හැදෙනවා නම් එය ප්‍රශ්නයක්. එහෙම අයට අපි වලිප්පුවට දෙන ප්‍රතිකාර ක්‍රියාත්මක කරන්න ඕනේ. ළමා හතිය තියෙනවා නම් එයට නිසිලෙස ප්‍රතිකාර කළ යුතුයි. කාලයක් තිස්සේ ළමයින්ට තියෙන අනෙක් රෝග හෘද වස්තුවේ ආබාධ, වකුගඩුවේ ආබාධ, අක්මාවේ ආබාධ ඇති දරුවන්ට ප්‍රතිකාර දිගටම කළ යුතුයි. එවැනි දරුවන්ට කොවිඩ් හැදුනොත් බරපතළ වෙන්න පුළුවන්. උණයි ෆිට් එකයි කියන එකට බය වෙන්න එපා. සාමාන්‍යයෙන් අවුරුදු 6 පැන්නට පස්සේ ෆිට් එක නවතිනවා. උණ සහ වලිප්පුව හැදුනොත් පැත්තකට හරවලා තියන්න. විනාඩි 5කට වැඩිය තිබුණොත් ළඟම රෝහලක් වෙත ගෙනියන්න. උණ තියෙන දරුවෝ අයිස් හෝ ඇල්වතුරෙන් හෝදන්න එපා. අපි කළ යුත්තේ ළා උණු වතුරෙන් දරුවා සේදීමයි.”
- arunanews
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්