දසුන් ශානක නායකත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශිකර් ධවාන් මෙහෙයවන සංචාරක ඉන්දීය කණ්ඩායම අතර, විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරග 3කින් සමන්විත මේ තරගාවලියේ සියලු තරග රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතය.
මේ තරගාවලිය නව නායකයන් දෙදෙනාටම අභියෝගයක් වී තිබේ. ඒ ශ්‍රී ලංකාව තවමත් ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජය ගෙන නැති බැවිනි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විස්සයි20 ද්වීපාර්ශ්වික තරගාවලි 7කදී හමුව ඇති අතර, ඉන් තරගාවලි 6ක ජය ඉන්දියාව සතු වී ඇත. 2009 වසරේ දෙසැම්බර් ඉන්දියාවේ පැවැති තරග 2කින් සමන්විත තරගාවලිය පමණක් ජය පරාජයෙන් තොරව (1-1) නිමා වී තිබේ. ඉන්දියාවට එරෙහිව පළමු වරට ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් අත් කර දීමට ශානකට අවස්ථාව ලැබී ඇති අතර, ශ්‍රී ලංකාව හමුවේ අපරාජිත වාර්තාව රැක ගැනීමට ධවාන්ට සිදුව ඇත. එමෙන්ම විරාට් කෝලි නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන ඉන්දීය පිල 2019 පෙබරවාරි මාසයෙන් පසු සහභාගි වූ සියලු විස්සයි20 තරගාවලි ජය ගෙන ඇති අතර, එම අපරාජිත බව රැක ගැනීමට ධවාන්ට සිදුව ඇත්තේ කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායම සමඟ එංගලන්ත සංචාරයකට එක්ව සිටින බැවින් මේ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති නිසාය.
ශානක විස්සයි20 තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන දෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර 2019 වසරේ ඔහුගේ නායකත්වයෙන් පාකිස්තානයට එරෙහිව 3-0ක තරගාවලි ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. මෙය ශ්‍රී ලංකාව ජයගත් අවසන් විස්සයි20 තරගාවලිය වන අතර, අනතුරුව සහභාගි වූ ද්වීපාර්ශ්වික තරගාවලි පහෙන්ම පරාජයට පත්ව තිබේ. ඒ අතරට ඉන්දීය පිල සමඟ පසුගිය වසරේ ජනවාරි මස පැවැති තරග 3කින් සමන්විත තරගාවලිය ද ඇතුළත් වෙයි. එම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 2-0ක පරාජයක් හිමි වූ අතර, ඔස්ට්‍රේලියාව (3-0), එංගලන්තය (3-0) සහ කොදෙව්වන් හමුවේ දෙවරක් 2-0ක් සහ 2-1ක් ලෙස තරගාවලි පරාජයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පිල මේ වසරේදී කොදෙව්වන්ට එරෙහිව පමණක් තරගයක් ජය ගෙන ඇති අතර, අනතුරුව සහභාගි වූ තරග 4 සමඟ තරග 5ක් පරාජයට පත්ව තිබේ.
විස්සයි20 තරග බිමේදී දෙරට හමු වන 20 වැනි අවස්ථාව මෙයයි. මින් පෙර හමු වූ අවස්ථා අතුරින් 13ක්් ඉන්දියාව ජය ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 5ක් ජය ගෙන තිබේ. එක් තරගයක් නිමා වී තිබෙන්නේ විසඳුමකින් තොරවය. අවසන් වරට 2018 මාර්තු මස ආර්. ප්‍රේමදාස පිටියේදීම ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්ව ඇත්තේ නිදහස් කුසලාන තරගාවලියේදීය. දසුන් ශානක ජයගත් පාකිස්තාන සංචාරයට එක් වූ වනිඳු හසරංග, මිනෝද් භානුක, අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු කුමාර, භානුක රාජපක්ෂ, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන මෙවර සංචිතයට ද එක්ව සිටිති.
මේ දෙපිලේම එක්දින තරගාවලියට නම් කළ සංචිතම විස්සයි20 තරගාවලියටත් එක් වන අතර, එක්දින තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයන්ට ලක් වූහ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට මේ තරගාවලියට එක්වීමට අවස්ථාව උදා වනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්