සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ ය.
එහි පළමු අදියර යටතේ පසුගිය ජුනි මස 29 වැනිදා සිට පාසල් ආරම්භ කරනු ලැබුවේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ය.
දෙවන අදියර යටතේ 5, 11, සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹෙනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ පාසල් පරිශ්‍රය තුළ පවිත්‍රතාව, විෂබීජහරණ මෙන්ම දෑත් සේදීමේ පහසුකම් ක්‍රියාත්මක බවයි.
සියලුම සිසුන් , ගුරුභවතුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව නිවසේ සිට පාසලට පැමිණීමේදී සහ පාසලෙන් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳිය යුතු ය.
එමෙන්ම කොරෝනා අභියෝගය හමුවේ මගහැරී ගිය ඉගෙනුම් කාලය ආවරණය වන පරිදි එක් එක් ශ්‍රේණිවලට දීර්ඝ කර ඇති පාසල් වේලාවන් අනුව කාල සටහන් සකස් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග මේ වනවිටත් සියලු පාසල්වල ක්‍රියාවට නංවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
සංශෝධිත කාල සටහන් යටතේ අද දින පාසල් ආරම්භවන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙ.ව 7.30 සිට ප.ව 3.30 දක්වාත්, 5 ශ්‍රේණි සිසුන් සඳහා පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වාත් පාසල් පැවැත්වෙනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මීළග අදියර යටතේ ලබන 20 වැනිදා දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරෙන අතර එහිදී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවන බවයි.
පළමු සහ 2 ශ්‍රේණි හැර සෙසු සියලු ශ්‍රේණි, එනම් 3, 4, 6, 7, 8, 9 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පාසල් සඳහා ලබන 27 වැනිදා පාසල් ආරම්භ වේ.
පළමු සහ 2 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ වන්නේ ලබන මස 10 වැනි සඳුදා සිටයි.
දරුවන් පාසල වෙත එවීමේදී උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ ද යන්න කෙරෙහි දෙමව්පියන් දැඩිව විමසිලිමත් විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එම අමාත්‍යාංශය අවධාරණය කළේ, එවැනි තත්ත්වයක් පෙන්නුම් කරන දරුවන් පාසල් එවීමෙන් වැළකිය යුතු බවයි.
එමෙන්ම පාසල් කාලය තුළ කිසියම් දරුවකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කළහොත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වහාම ගිලන් කාමර වෙත කැඳවා මූලික ප්‍රතිකාර ලබාදීමටත්, අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් පාසල් ප්‍රධානීන් සහ ගුරුභවතුන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ පාසල් විවෘත කිරීම සම්බන්ධ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන මෙම කාලය තුළ පාසල් වෙත ගුරුවරුන් පැමිණීමේ දී තමන්ට නියමිත කාලසටහන් අනුව අදාළ කාලපරිච්ඡේද තුළ ඉගැන්වීමට පමණක් පාසල තුළ රැඳීම ප්‍රමාණවත් වන බවයි.
විදුහල්පතිවරයා විසින් අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර සියලු ගුරුවරුන් පාසල් තුළ පස්වරු 3.30 දක්වා රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ගුරුවරුන් විසින් පාසලට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා පවත්වාගෙන යන ලේඛනයේ නියමිත කාල වේලා අනුව සටහන් තැබිය යුතු අතර කාලසටහන් අනුව ඒ ඒ ගුරුවරයාට නියමිත කාලච්ඡේද තුළ ඉගැන්වීම් කටයුතු අවසන් කළ පසු පාසලින් බැහැරව යාමට අවස්ථාව ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
කොරෝනා හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම නිසා දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට සිදු වූ බලපෑම පිළිබඳව අවබෝධ කරගනිමින් මෙම කාලය තුළ පාසලෙහි වාර විභාග, ක්‍රීඩා තරග හෝ වෙනත් විෂය බාහිර කටයුතු සංවිධානය කිරීමෙන් වළකින ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ, ඉගෙනුම් ක්‍රියාවලිය සඳහාම පමණක් පාසල තුළ අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්