දුප්පත්කම පරදවා සිය සිහිනය ජයගත් රාණි රාම්පාල්

ඉන්දීය කාන්තා හොකී කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසය අලුත් කරමින් අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට සමත් වී තිබේ. ඒ, ඔස්ට්‍රේලියාව 1 – 0ක් ලෙස පරාජය කරමිනි.

ඉන්දීය කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරනු ලබන්නේ රාණි රාම්පාල් නම් ක්‍රීඩිකාවයි. කුඩා කාලයේ අනේකවිද දුක් කම්කටොලු මැද ජීවිතය ගතකළ ඇය තම පසුබිම ගැන අගනා ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබා තිබුණි.

මෙය ජීවිතය ගැන ලතවෙමින් සිටින බොහෝ දෙනෙකුට වැදගත් පණිවුඩයක් සපයයි.

එනම් නොපසුබට වීර්යය සහ කැපකිරීම ඔස්සේ සිය සිහින ජයගැනීමට අප සියලුදෙනාට හැකි බවය.

“මට මගේ ජීවිතයෙන් පළා යෑමට සිතුනු වාර ගණන අනන්තයි. නිතරම අපේ ගෙදර විදුලිය විසන්ධි වුණා. මදුරුවෝ දෙකන් අසල නගපු ඝෝෂාව…දිනකට ආහාර වේල් දෙකක් පමණයි ලැබුණේ..ඒ වගේම අපේ නිවස නිතරම ජලයට යට වුණා. මගේ දෙමව්පියන් කළ හැකි උපරිම දේ කළා…තාත්තා කරත්ත තල්ලු කළා..අම්මා ගෙවල්වල වැඩ කළා.

මගේ ගෙදර ආසන්නයේ හොකි පුහුණු ඇකඩමියක් තිබුණා. මම සමහර වෙලාවට පැය ගණන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිහා බලන් ඉන්නවා. ඇත්තටම මටත් දැඩි වුවමනාවක් තිබ්බා ක්‍රීඩා කරන්න. තාත්තගේ දෛනික ආදායම රුපියල් 80යි. ඔහුට හොකී පිත්තක් අරන් දෙන්න වත්කමක් තිබුණේ නැහැ. මම දිනපතාම පුහුණුකරුගෙන් විමසීම් කළා මටත් උගන්නන්න පුළුවන්ද කියලා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඔහු පැවසුවේ පුහුණු සැසියක් සඳහා සහභාගී වීමට මම ශක්තිමත් නැහැ කියලා…නමුත් මම කැඩිච්ච හොකි පිත්තකින් පුහුණුවුනා..මම සල්වාරියත් ඇඳගෙන හැමවිටම දිව්වා. මම උත්සාහය අතහැරියේ නැහැ…අවසානයේ පුහුණුකරු එකඟවුණා.

නමුත් මගේ පවුලේ සාමාජිකයින් කිව්වේ “ඕක හරියන්නේ නෑ”. මම ඔවුන්ට බැගෑපත් වුණා. “මම අසමත් වුණොත් ඔයගොල්ලෝ කැමති දේ කරන්න. ඊට පස්සේ ඒ ගොල්ලෝ මම හොකී ගහනවට කැමති වුණා.”

පුහුණුවීම් ඇරඹුණේ පාන්දර. අපේ ගෙදර ඔරලෝසුවක් තිබුණේ නැහැ. අම්මා විටින්විට නැගිටලා අහස දිහා බලනවා මට අවදිවෙන්න වෙලාව හරිද කියලා…

ඇකඩමියට එන සියලුදෙනා කිරි 500ml ගෙන ඒම අනිවාර්ය කර තිබුණා. නමුත් මගේ තාත්තට හැකියාව තිබුණේ මා හට 200mlක් දීමට පමණයි. ඉතින් මම කළේ ඉතිරි ටිකට වතුර දාලා බොන එක.

මගේ පුහුණුකරු මට උදව් කළා. මට ක්‍රීඩා ආම්පන්න විතරක් නොවෙයි පෝෂණයට අවශ්‍ය දේත් අරන් දුන්නා…මම එක දිනයක්වත් පුහුණුවීම් මඟ හරියේ නෑ. 

මට මතකයි එක් දිනක් තරඟාවලියක් දිනලා රුපියල් 500ක් මට ලැබුණා. මම ඒක තාත්තට දුන්නා. එතෙක් එවැනි මුදලක් ඔහු අල්ලලා තිබුණෙත් නෑ. මම මගේ ගෙදර අයට පොරොන්දු වුණා, “කවද හරි අපිටම කියල ගෙයක් හිමිකර දීමට. මම ඒ සඳහා මගේ උපරිම ශක්තිය යෙදෙව්වා…”

මගේ හැකියාව හඳුනාගත් බලධාරීන් මාව ප්‍රාන්ත කණ්ඩායමට ඇතුළත් කළා. 2010දී මට අවුරුදු 15යි. උපරිම සතුටක් ලැබූ දවසක් ඒ මාව ජාතික කණ්ඩායමට කැඳෙව්වා..එහෙත් මගේ නෑදෑයෝ කිව්වේ විවාහයක් කරගෙන ජීවිතය ගෙන යන්න කියන දේ. නමුත් මගේ තාත්තා කිව්වේ “දුවේ නුඹේ හදවතේ කැමැත්ත තිබෙන තෙක් ඔබ ක්‍රීඩා කරන්න,” යනුවෙනි.

මගේ ගෙදර අයගේ සහායත් එක්ක අවසානයේදී මම ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමේ නායිකාව බවට පත්වුණා. 

2017දී මට පුළුවන් වුණා මගේ පවුලට මම වුණු පොරොන්දුව ඉටු කිරීමට…“මම අපිටම කියලා නිවසක් මිලදී ගත්තා..”

ඒ වෙලාවේ අපි ඔක්කොම බදාගෙන ඇඬුවා…ඔවුන් මගේ සිහිනයේ කොටසක්.

මගේ ගමන තවම නිම නැහැ. මගේ පුහුණුකරුට සහ සියලුදෙනා ට කෘතගුණ සැලකීමට මම හිතාගෙන ඉන්නේ. ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම ඉන්දියාවට දිනා දීමෙන්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com