අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණියේ ස්ථාන 27ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට හැකිව තිබේ.
ඉකුත්දා බංග්ලාදේශය සමග නිමාවට පත් වූ එක්දින තරගාවලියේදී දැක්වූ විශිෂ්ට පන්දු යැවීම හමුවේ දුෂ්මන්තට අදාළ ශ්‍රේණියේ පෙරට පැමිණීමට අවස්ථාව උදා විය.
බංග්ලාදේශ සංචාරයට පෙර දුෂ්මන්ත එම ශ්‍රේණියේ 61 වැනි ස්ථානයේ පසු වූ අතර එහි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු 33 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. චමීරගේ එක්දින දිවියේ ජාත්‍යන්තර පන්දු යවන්නන් අතර මේ දක්වා පැමිණි ඉහළම ස්ථානය මෙය වේ. බංග්ලාදේශය සමග පැවැති තුන්වැනි තරගයේදී පන්දුවාර 09කදී ලකුණු 16කට කඩුලු 5ක් දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වූයේය. සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වශයෙන් එය සටහන් විය. බංග්ලාදේශය සමග පැවැති තරග තුනේදී ඔහු විසින් කඩුලු 9ක් දවාගෙන තිබුණි.
මීට අමතරව එක්දින පන්දු යැවීමේ ශ්‍රේණියේ 61 වැනි ස්ථානයේ සිට 51 වැනි ස්ථානය දක්වා ස්ථාන 10ක් වනිදු හසරංග ඉදිරියට පැමිණියේය. 51 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප් ද රැඳී සිටි. එම ශ්‍රේණියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නා අකිල ධනංජය වන අතර ඔහු 22 වැනි ස්ථානයේ රැඳී සිටී.ශතකයක් රැස්කිරීම ඇතුළුව බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් පිතිකරුවන් ශ්‍රේණියේ 55 වැනි ස්ථානයේ සිට 42 වැනි ස්ථානය දක්වා පැමිණීමට කුසල් පෙරේරාට හැකි වූයේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ පිතිකරුවන් ශ්‍රේණියේ ඉදිරියෙන්ම සිටිනුයේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔහු 41 වැනි ස්ථානයේ රැඳී සිටී. එක්දින පිතිකරුවන් ශ්‍රේණියේ මුල් ස්ථාන 50 අතර සිටින සෙසු පිතිකරුවන් වන්නේ ධනුෂ්ක ගුණතිලක (48) සහ කුසල් මෙන්ඩිස් (50) ය .
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්