ශ්රී ලංකා ජාතික ක්රිකට් පිලේ හිටපු වේග පන්දු යවන ක්රීඩක ධම්මික ප්රසාද් නාවික හමුදා ක්රිකට් පිලේ ප්රධාන පුහුණුකරු වශයෙන් වැඩ භාරගෙන තිබේ.
ප්රධාන පුහුණුකාර ධුරයේ කටයුතු කරන අතරවාරයේදී ක්රීඩකයෙකු වශයෙන්ද ධම්මික ප්රසාද් සිය දායකත්වය නාවික හමුදා ක්රිකට් කණ්ඩායමට ලබා දීමේ සූදානමින් සිටී. ඒ අනුව ඉකුත් සඳුදා සිට ධම්මික සිය ධුරයේ වැඩ ආරම්භකර තිබේ.
නව පුහුණුකාර ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධම්මික ප්රසාද් ‘පුහුණුකරුවෙක් හැටියට මම අදියර 3 පුහුණුකරු පාඨමාලාව කරලා තියෙනවා. ඒ වගේම මම පුහුණුකරුවන් විශාල පිරිසක් එක්ක එකට වැඩ කරලා තියෙනවා. ඒ අයගේ අත්දැකීම් සහ ඔවුන් කටයුතු කළ ආකාරයත් මට මෙතැනින් එහාට පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරීමේදී වැදගත් වෙනවා’යි කීවේය.
පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළද, තවත් අවුරුදු 4ක් ක්රීඩකයෙක් වශයෙන් කටයුතු කිරීමට තමන් අපේක්ෂාවෙන් පසුවන බවද ධම්මික ප්රසාද් වැඩිදුරටත් කියා සිටියේය.
‘මම කොහොමත් තව අවුරුදු හතරක් ක්රිකට් ක්රීඩා කරන්න හිතාගෙන ඉන්නේ. ඒ අතරේ ලෙජන්ඩ්ස් විස්සයි විස්ස තරගාවලිය වැනි ප්රිමියර් ලීග් තරගාවලිවලට සහභාගි වෙනවා. පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන ගමන්ම තමයි ක්රීඩකයෙකු වශයෙන් මේ තරගාවලි සමගින් එක් වන්නේ’ යි කියා සිටියේය.
38 හැවිරිදි වියේ පසුවන ධම්මික ප්රසාද් ශ්රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 24ක්, ටෙස්ට් තරග 25ක් සහ එක් විස්සයි විස්ස තරගයක් සඳහා සහභාගි වී තිබේ. ඒ අතරින් ටෙස්ට් කඩුළු 75ක් සහ එක්දින කඩුළු 32ක් ධම්මික ප්රසාද්ගේ නම ඉදිරියේ සටහන් වී තිබේ.
—-Aruana News——
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්