ගෙවීම් පැහැර හැරීමට සංස්ථා ප්‍රධානියෙකුගෙන් අනුබල.
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හතක් විසින් ධීවර සංස්ථාවට රුපියල් මිලියන තුන්සියයක ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබෙන බව එම සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය දස වසරක කාලය පුරාම පැහැර හැර ඇති ගෙවීම් අය කර ගැනීම සම්බන්ධයෙන් එම සංස්ථාවේ නීති අංශය කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද එම ආරංචිමාර්ග කීවේය.
මෙලෙස ගෙවීම් පැහැර හැර ඇත්තේ මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය, ධීවර සංස්ථාවට අයත් ශීතාගාර කුලියට ලබාගැනීම්, බදු පදනම මත ලබාගෙන ඇති සංස්ථාවට අයත් නෞකාවක ගෙවීම් සිදුකිරීම ඇතුළු කටයුතු සඳහාය.
2014 වසරේ දී ලංකා ධීවර සංස්ථාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගත් ප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් සමාගමකින් පමණක් රුපියල් මිලියන එකසිය විසිනවයක මුදලක් සංස්ථාවට ගෙවිය යුතුව තිබේ. 2010-2015 කාලයේදී සංස්ථාවට අයත්ව තිබූ නෞකාවක්ද මෙම ව්‍යාපාරිකයා වෙත කුලියට ලබාදී ඇති අතර ඒ සඳහා වන ගෙවීම්ද ඔහු පැහැර හැර ඇත.
මීට අමතරව තවත් මත්ස්‍ය නිෂ්පාදන සමාගමක් ද ධීවර සංස්ථාවට අයත් ගාල්ල සහ මෝදර පිහිටි ශීතාගාරවල බදු පදනම මත සිදුකර ඇති මත්ස්‍ය කල්තබාගැනීම් සඳහා වන රුපියල් මිලියන දහයකට අධික ගෙවීම්ද මේ තාක් ගෙවා නැතැයි ඉහත ආරංචිමාර්ග කීවේය.
මෙම අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම හිතාමතාම පැහැර හැර ඇතැයි ද එලෙස පැහැර හැරීම සඳහා ධීවර සංස්ථාවේ ප්‍රධානියෙකු මෙන්ම සංස්ථාවේ කළමණාකරුවන් කිහිපදෙනෙකුද ආධාර අනුබලදී සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලංකා ධීවර සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ලලිත් දවුලගලගෙන් අරුණ, කළ විමසුමකදී සඳහන් කළේ ධීවර සංස්ථාවේ නව පාලනාධිකාරිය විසින් පසුගිය කාලයේ සිදුවූ අක්‍රමවත් ගනුදෙනු සොයා බලා ඒවාට සම්බන්ධ ආයතන හා සමාගම් සම්බන්ධයෙන් ගතයුතු නෛතික පියවර ගෙන තිබෙන බවය.
වත්මන් රජය හෝ වත්මන් පාලනාධිකාරිය යටතේ එවන් අක්‍රමවත් ගනුදෙනු කිසිවක් සිදුව නැති බවය. මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය ඇතුළු ගනුදෙනුවලින් මෙවැනි සමාගම් කිහිපයක් රුපියල් දෙසිය අසූපහක ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබෙන බවද ඒවා අයකර ගැනීමට කටයුතු කරමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්