නිව් ඩයමන්ඩ් නෞකාවේ අතුරුදන්ව සිටි බවට කියැවෙන පිලිපීන ජාතික නාවිකයා මිය ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.
එම තෙල් ප්‍රවාහන නෞකාව තුළ ඊයේ උදෑසන හටත් ගින්න මෙතෙක් පාලනය කිරීමට හැකියාව ලැබී නොමැති බව වාර්තා වේ.
නාවික හමුදා ආරංචිමාර්ග සඳහන් කරන්නෙ තවමත් ගින්න නෞකාවේ තෙල් අංගනය වෙත පැතිර ගොස් නැති බවයි.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ “නිව් ඩයමන්ඩ්“ (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක ඊයේ (03) සිදුවූ පිපිරුමක් සමඟ එම ගින්න ඇති විය.
ඉන්පසුව එම නැවේ කාර්යමණ්ඩලය ආධාර ඉල්ලා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “MI17“ වර්ගයේ හෙළිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින්ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් ඊයේ සවස වනතෙක් සිදු කළ අතර, “බීච් ක්‍රාෆ්ට්“ යානාවක්මගින් වරින් වර ගුවනින් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි.
එමෙන්ම ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානයක් ද මෙම ආපදා තත්ත්වය ගුවනින් නිරීක්‍ෂණය කරනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සයුර“, “සිඳුරළ“ සහ “රණරිසි“ නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් මෙම ආපදා තත්ත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමට යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
ඊයේ සවස් කාලයේදී ආපදාව සිදුවූ නෞකාව අසළට ළඟාවූ ඉන්දීය වෙරළාරක්‍ෂක “සෞර්යා“ (ICGS Shaurya) නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ සමඟ එක්ව ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීම ආරම්භ කරන ලදි.
එමෙන්ම අද (04) අලුයම් කාලය වන විට හම්බන්තොට වරායෙන් පිටත් වූ “රාවණා“ සහ “වසඹ“ යන ටග් යාත්‍රා දෙක අළුයම 1.00 සහ 3.00 වන විටත් සහ ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද “ALP Winger “යන ටග් යාත්‍රාවක් අළුයම 2.00 පමණ මෙම මෙහෙයුමට එක්විය.
තවද, අද අළුයම 2.00 පමණ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන “ශෙහාද්‍රි“ (INS Sahyadry) නෞකාවද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුමට එක්වූ අතර, තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා දෙකක් අද දින දහවල් කාලය වන විට මෙම මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතය.
මේ අතර, මෙම ආපදා සහන මෙහෙයුම සඳහා සහභාගී වූ රුසියානු නෞකා ද්විත්වය අවශ්‍ය සහයෝගය ලබා දී ඊයේ (03) සවස් භාගයේ දී එම මුහුදු ප්‍රදේශයෙන් පිටත්ව යන ලදි.
එම නෞකාවේ කාර්ය මණ්ඩලය 23ක් සිටි අතර ඔවුන්ගෙන් 19 දෙනෙක් “හෙලන් එම්“ (Helen M) වෙළෙඳ නෞකාවේ මගින් බේරාගෙන තිබුණි.
තිදෙනෙකු ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරටට ගෙන එන ලද.
අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව නාවික හමුදාව පවසයි.
තවද, මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 270,000ක් වූ බොර තෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොර තෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.
එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතු කරගෙන එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැති අතර, තෙල් කාන්දු වීමේ තත්ත්වයක් ඇති වුවහොත්, එයින් සිදු වන හානිය අවම කිරීමට හා එමගින් ඇතිවිය හැකි තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය, ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටී.
ආපදාවට පත් බොරතෙල් නෞකාව අද උදෑසන 5.00 වන විට ආසන්නම ගොඩබිම සිට නාවික සැතපුම් 25 ක්
(දළ වශයෙන් 50 km) පමණ දුරකින් මීටර් 3100 ක ගැඹුරු මහ මුහුදේ ඇත.
අද උදෑසන 5.30 වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා තුනක්, වේග ප්‍රහාරක යාත්‍රා දෙකක්, ඉන්දීය
වෙරළාරක්‍ෂක නෞකාවක්, ඉන්දීය නාවික හමුදා නෞකාවක් සහ ටග් යාත්‍රා තුනක් ආපදාවට ලක් වූ නෞකාව සමීපයේ ඇත.
අද දින අලුයම 5.30 සිට ගුවන් මගින් ද ගිනි නිවන කටයුතු නැවත ආරම්භවීමට නියමිතව තිබුණි.
ආපදාවට ලක් වූ නෞකාවේ පසුපස ඇති පාලක මැදිරි කලාපය (Super structure) තවමත් ගිනිගන්නා අතර එය නෞකාවේ බොර තෙල් ගබඩා කර ඇති කලාපයට බලපෑමක් ඇති කර නොමැත.
නෞකාවේ සැළැස්ම අධ්‍යනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මගින් සිදු කරනු ලැබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්