දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද දිවයිනට පැමිණෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ පස්වරු 04. 15 ට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුලු ධුත පිරිස රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉම්රාන් ඛාන් මහතා පිළිගැනීමට නියමිත අතර හමුදා උත්තමාචාරයක්ද සංවිධාන කර තිබෙනවා.
ශ්‍රී ලංකා – පකිස්ථාන අග්‍රාමාත්‍යවරුන් අතර ද්වි පාර්ශවික නිල හමුව අරලියගහ මන්දිරයේදී ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 06 ටයි.
එම නිල සාකච්ඡාවලින් අනතුරුව ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම සිදුකෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලා.
පස්වරු 06.30 ට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ඇති.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව හෙට පෙරවරුවේ යෙදී තිබෙනවා.
ව්‍යාපාර හා ආයෝජන සංසදය හෙට පෙරවරුවේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකදී පැවැත්වෙනවා.
අනතුරුව කථානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහයකටද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි.
සිය ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉම්රාන් ඛාන් මහතා හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනු ඇති.
පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි / වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ් / විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පැමිණීමට නියමිතයි.
එමෙන්ම රෙදිපිළි හා ඇගලූම්, ඖෂධ, කෘෂි ආහාර, වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත පකිස්ථානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද ඉම්රාන් ඛාන් මහතා සමග අද මෙරටට පැමිණෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්