සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (29 වැනිදා) ප.ව. 3.30 ට චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී ආරම්භ වේ.
චෝදනා ලත් උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වෙනුවට යොවුන් ක්‍රීඩකයන් කණ්ඩායමට
ක්‍රීඩකයන් රැඳී සිටි ජෛව ආරක්ෂණ බුබුළේ නීති රෙගුලාසි කඩ කළ බවට චෝදනා ලත් උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වෙනුවට අද (29 වැනිදා) තරගයේදී යොවුන් ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා පැවසීය.
එක්දින තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවට ඊයේ (28 වැනිදා) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
දෙරට අතර මේ දක්වා පවත්වා තිබෙන එක්දින තරග 75ක් අතුරින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය තරග 36 බැගින් ජය ලබා සම තත්ත්වයේ පසු වේ. එහිදී එක් තරගයක් ලකුණු සම තත්ත්වයේද, තවත් තරග දෙකක් විසඳුමක් රහිතවද අවසන් වී තිබේ. අද තරගය ජය ගන්නා කණ්ඩායමට ජයග්‍රහණයන්ගෙන් පෙරමුණ ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
ඉකුත් 2019 ලෝක කුසලාන තරගාවලියේදී මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකා මුණ ගැසුණු අතර එයින් එංගලන්තය හමුවේ ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. එවර ලෝක කුසලානය සත්කාරක එංගලන්තය විසින් දිනා ගැනීමද විශේෂත්වයක් විය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ සහභාගි වූ එක්දින තරග 6න් 5ක්ම පරාජය වී සිටින අවදියක අද තරගය සඳහා සහභාගි වනු ඇත.
විස්සයි විස්ස තරගාවලියේදී පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ අංශයන් දෙස බැලීමේදී යම් සාධනීය බවක් පෙනෙන්නට තිබෙන බැවින් එක්දින තරගාවලියේදී පිතිකරුවන් ලකුණු රැස්කිරීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පැවසීය.
ක්‍රීඩකයන් නොබියව පන්දුවට පහරදිය යුතු යැයි තමා නායකත්වයට පත්වීමෙන් පසු කුසල් පෙරේරා විසින් කිහිප විටක් අවධාරණය කළ නමුත් ගෙවුණු විස්සයි විස්ස තරගාවලියේදී, එවැනි තත්ත්වයක් පෙනෙන්නට නොතිබුණේ මන්දැයි ‘අරුණ’ කළ විමසුමේදී ‘මම අදටත් කියන්නේ නිර්භයව ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි කියලා. පීඩනයත් එක්ක ඒක ක්‍රියාවට නංවන්න අපහසු වුණා. අපි හිර වී සිටිය යුතු නැහැ. වැටුණු තැනින් නැගිටින්න ඕනේ. ඒකෙන් අපිටමයි ගොඩ එන්න පුළුවන්. අපිමයි නැගිටින්න ඕනේ’ යි යනුවෙන් කියා සිටියේය.
එංගලන්තයේ මේ දිනවල තදින් සීතල තත්ත්වයක් ඇති බවත්, අද තරගය සඳහා යහපත් මානසික තත්ත්වයක් සමග තරගයට එක් වන බවත් කුසල් කියා සිටියේය. තවද, ලද පරාජයන් සම්බන්ධයෙන් කනගාටු වන බවත්, ඒ වෙනුවෙන් ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් කුසල් එහිදී කියා සිටියේය.
තරගාවලිය අතරතුර කණ්ඩායමේ උපනායකයා ඇතුළු ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කුසල් පෙරේරාගෙන් විමසනු ලදුව එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් කටයුත්තක් බව ඔහු කියා සිටියේය.
මේ අතර කුසල් මෙන්ඩිස්ගෙන් හිස්වන උපනායකත්වයට තරගාවලිය තුළ වෙනත් ක්‍රීඩකයකු නම් නොකරනු ඇතැයි වාර්තා වන අතර මෙම ක්‍රීඩකයන් වෙනුවට චරිත් අසලංක, ඕෂධ ප්‍රනාන්දු හට අද තරගයේදී අවස්ථාව හිමිවීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්