පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවා ඔවුන් සේවයෙන් පහකළ යුතු යැයි කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමා පැවැසීය.
උන්වහන්සේ මේ බැව් පැවසුවේ ඊයේ (30දා) රාගම තේවත්ත ශ්රී ලංකා අප ස්වාමිගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී පැවැති රෝගීන්ට ආශිර්වාද කිරීමේ දේව මෙහෙයකට එක්වෙමිනි.
එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඒ සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති කොමිසම මගින් සිදුවේ යැයි කියා අප විශ්වාස කරනවා.
විමර්ශනවලදී ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ අය කවුරුන්ද කියා නිවැරදිව හෙළිකළ යුතුයි.
වත්මන් ආණ්ඩුව අපට පොරොන්දුවූවා පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් හෙළිකර ඔවුනට නිසි දඬුවම් ලබාදෙන බවට. එය නොකළොත් අප මෙම ආණ්ඩුවටත් එරෙහිව නැඟීසිටිනවා.
මෙම ප්රහාරය නිසා මියගිය අයගේ පවුල්හි සාමාජිකයන් මැරි මැරී ජීවත් වන පිරිසක් බවට පත්වෙලා. තුවාල ලැබූ ඇතැම් අය සදාකාලික රෝගීන් බවට පත්වෙලා.
මෙවන් විනාශයක තොරතුරු දැනගන්නට ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් පියවර නොගත්ත නිලධාරීන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. එය අප බලාපොරොත්තු වෙනවා.
පාස්කු ප්රහාරය පිළිබඳ විමසා බලන ජනාධිපති කොමිසම හමුවේ අද ඇතැම් අය කිඹුල් කඳුළු හෙළනවා.
මෙහි පිටුපස ඉන්න මහමොළකරුවන් හඳුනාගෙන ඔවුන් ගැන රටටම හෙළිකළ යුතුයි.
මෙම ප්රහාරය වළක්වාගන්න කටයුතු නොකළ ඇතැම් පොලිස් නිලධාරීන් තම නිල ඇඳුමේ පැළඳගෙන ඉන්න පළඳනාවලටත් ලැජ්ජා කරනවා. එනිසා ඔවුන්ගේ නිල ඇඳුම් ගලවා දැමිය යුතුයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්