භාණ්ඩ මිල ගණන් ඉහළ යාමත් සමඟ පිටකොටුව ඇතුලු අනෙකුත් තොග අලෙවිසැල්වල භාණ්ඩ අලෙවිය සියයට 40 දක්වා පහත බැස ඇති බවට තොරතුරු වාර්තාවනවා.
මේ හේතුවෙන් තොග වෙළඳුන්ගේ දෛනික ආදායමද මිලියන 15 දක්වා පහත බැස ඇති බවටයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.
සාමාන්‍ය දිනවල පිටකොටුවේ තොග වෙළඳසැලක දෛනික ආදායම මිලියන 25 ක අගයක් ගනු ලබනවා.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ යෑම ඇතුලු අනෙකුත් කරුණු සමඟ තොග වෙළඳාම මෙලෙස පහත වැටී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ වෙළඳපොලේ එම භාණ්ඩවල පැවති හිඟය මේ වනවිට අඩුවෙමින් පවතින බව වාර්තාවනවා.
පාරිභෝගිකයන් පවසන්නේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ වෙළඳපලේ පසුගිය දිනවල හිඟව පැවති භාණ්ඩ මේ වනවිට දක්නට ලැබීම විමතියට කරුණක් බවයි.
භාණ්ඩ මිල ඉහළ යාම තමන්ට දරාගැනීමට අපහසු බවටද ඔවුන් චෝදනා කළා.
මේ අතර භාණ්ඩ මිල ඉහළ යෑමට විරෝධය පළ කරමින් අද කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක විරෝධතා ද පැවැත්වුණා.
මේ අතර අසාමාන්‍ය ලෙස ගෝලීය නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලෝක වෙළදපළේ කිරිපිටි මිල 2014 වසරේ අගෝස්තු මාසයෙන් පසු ඉහළම අගයට පැමිණ තිබෙනවා.
විශේෂයෙන් කිරි නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයන් වන යුරෝපයේ සහ නවසීලන්තයේ නිෂ්පාදනය පහත වැටීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවයි.
අදත් මෙරට වෙළඳපලේ ප්‍රමාණවත් පරිදි කිරිපිටි නොමැති නිසා ඒවා මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර ඉදිරියේදී ඉන්ධන මිල ද වැඩිවීමක් සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරනු ඇති බවත් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
එවන් පසුබිමක ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් වැඩි කිරීමට අපේක්ෂා කර ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
භාණ්ඩ හිඟය සහ භාණ්ඩ පෝලිම් රටේ විවිධ ප්‍රදේශවල පවතිද්දී මේ වනවිට කොළඹ – කොටුවේ දිනපතා පෙරවරු කාලයේ තවත් පෝලිමක් දක්නට ලැබෙනවා.
ඒ, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ අපේක්ෂාවෙන් ඊට අදාළ අයදුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන පිරිස හේතුවෙන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්