නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 330 ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
සුළි කුණාටුව සමඟ පැමිණෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 75 ත්, 85 ත් පමණ වන අතර, ඇතැම් විට එය පැයට කිලෝමීටර් 95 දක්වා වැඩිවනු ඇති.
මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන ප්‍රකාශ කළා.
මෙම සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මෙරටට බලපා හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම, අවදානම් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්