මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ කැලණිය රජමහා විහාරස්ථානයේ දී දැන් පැවැත්වෙන උත්සවයේ දී.

නවවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමට මෙමස 05 වැනිදා පැවැති ඡන්ද විමසීමෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු බලය හිමිකර ගැනුමට සමත් විය.

එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාට 527,364ක මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි විය. ඒ පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්‍ෂකයෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා 1970 වර්ෂයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ මෙවර දිවුරුම් දෙන්නේ සිව්වැනි වතාවටය.

වසර 50ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කළ අතර මීට පෙර තෙවරක් අගමැතිවරයකු ලෙසත් දෙවරක් ජනාධිපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 06 වැනිදාය. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දාත්, 2019 නොවැම්බර් මස 21 වැනි දාත් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ධුරයේ දෙවරක් සහ අග්‍රාමාත්‍ය ධුරයේ සිවුවරක් කටයුතු කළ පළමුවැන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා මේ සමඟින් පත්වෙයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com