මහේල ජයවර්ධන වැනි අත්දැකීම් බහුල අයෙක් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙක් වශයෙන් පැමිණීම කණ්ඩායමට විශාල වාසියක් වනු ඇති බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.
ඕමාන සංචාරය හා එක්වීමට ප්‍රථම පෙරේදා (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී දසුන් මේ බව කියා සිටියේය. ‘මහේල අයියාගෙන් ගොඩක් ලොකු උදව්වක් කණ්ඩායමට ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කණ්ඩායමක් විදිහට ඒක ලොකු අවස්ථාවක්. පුහුණුකරුවකු හැටියට ඔහුට තියෙන අත්දැකීම් ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක්ට නැහැ. ඔහු අයි.පී.එල්. තරගාවලියෙත් මේ දිනවල කටයුතු කිරීම අපිට තවත් විශාල වාසියක් වේවි’ යැයි දසුන් අදහස් දැක්වීය.
දකුණු අප්‍රිකාව සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය සැසඳීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් යම් පසුබෑමකට ලක්ව සිටිනු දක්නට ලැබිණි. ඒ හේතුවෙන් ඕමානය සමග පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ උපරිමය ලබාගැනීම ශ්‍රී ලංකා නායකයාගේ අපේක්ෂාව වී තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන් ‘ඕමානයට හොඳ විස්සයි විස්ස කණ්ඩායමක් සිටින බව අපි දන්නවා. විශේෂයෙන් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවෝ දෙන්නා හොඳින් පන්දුවට පහර දෙනවා. අපි ඔවුන් සමග ක්‍රීඩා කරලා නැති නිසා වීඩියෝ බලලා තමයි ඔවුන් ගැන යම් අවබෝධයක ලබා තියෙන්නේ. මේ තරගාවලියේදී පිතිකරුවන්ගෙන් උපරිමය ලබාගන්න බලාපොරොත්තු වෙනවා’ යි කීවේය.
ඕමාන කණ්ඩායම මේ දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් තරගයකට සහභාගි වී නොමැත. දෙරට අතර පළමු තරගය මේ මස 07 වැනිදාත්, දෙවැනි තරගය 09 වැනිදාත් පැවැත්වෙනු ඇත.
තරගාවලියට පිටත්ව යාමට මත්තෙන් මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල තහනමකට ලක් වීම කණ්ඩායමට විශාල පාඩුවක් වූ බවයි.
කෙසේ නමුත් මේ මොහොතේ කණ්ඩායම සකස්කරගන්නා ආකාරය අනුව නම්‍යශීලී විය යුතු බවද, ශ්‍රී ලංකා පුහුණුකරු කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ මිකී ආතර් ‘ලෝක කුසලාන තරගාවලියේදී එකම තණතීරුවල ක්‍රීඩා කිරීමට නියමිත බැවින් මම අයි.පී.එල්. තරගාවලිය ඉතා උනන්දුවෙන් නැරඹුවා. ඒ තණතීරු දෙස බැලීමේදී වේග පන්දු යවන්නන් දෙදෙනකු, දඟ පන්දු යවන්නන් දෙදෙනකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් සමගින් ඉදරියට යමු’යි කීවේය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්